උත්පත්ති 4:1-7

උත්පත්ති 4:1-7 NRSV

ආදම් සිය භාර්යාව වන ඒව සමඟ එක් විය. ඈ දරුවෙකු පිළිසිඳගෙන, ඔහු උපන් කල, “සමිඳාණන් වහන්සේගේ උපකාරයෙන් මම මිනිසෙකු ලදිමි”යි කීවා ය. එබැවින් ඈ ඒ දරුවාට කායින් යන නම දුන්නා ය. පසු ව ඈ ඔහුගේ සොහොයුරු වූ ආබෙල් ද ලැබුවා ය. ආබෙල් බැටළු එඬේරෙක් විය, කායින් ගොවියෙක් විය. කලක් ගත වූ පසු කායින් පොළොවෙන් නිපද වූ අස්වැන්න පඬුරක් වශයෙන් සමිඳාණන් වහන්සේට පූජා කළේ ය. ආබෙල් ද සිය බැටළු රැළේ කුලුඳුල් පැටවුන්ගෙන් සමහරෙකු ද ඔවුන්ගේ හොඳ ම කොටස් ද ගෙන සමිඳාණන් වහන්සේට පූජා කළේ ය. සමිඳාණන් වහන්සේ ද ආබෙල් සහ ඔහුගේ පඬුර සතුටින් පිළිගත් සේක. එහෙත්, උන් වහන්සේ කායින් සහ ඔහුගේ පඬුර නොපිළිගත් සේක. එබැවින් කායින් තදින් කිපී, දුර්මුඛ විය. සමිඳාණන් වහන්සේ ද කායින්ට කතා කොට, “නුඹ මෙතරම් කිපී, දුර්මුඛ වී සිටින්නේ මන් ද? නුඹ යහපත කරන්නෙහි නම් නුඹ පිළිගනු ලබන්නෙහි ය. නුඹ අයහපත කරන්නෙහි නම් පාපය රකුසෙකු සේ නුඹේ දොරකඩ ලැග සිටින්නේ ය. ඌ නුඹ මැඩලීමට බලාගෙන සිටියි; එහෙත්, නුඹට ඌ දමනය කළ හැකි ය”යි වදාළ සේක.