උත්පත්ති 33:3-11
උත්පත්ති 33:3-11 NRSV
ජාකොබ් ද ඔවුන්ට පෙරටුව ගොස්, තම සොහොයුරා වෙත පැමිණෙන තෙක් සත් වරක් බිමට නැමී වැන්දේ ය. එවිට ඒසව් ඔහු හමුවීමට දිව ගොස් ඔහු බදාගෙන, ඔහුගේ ගෙල වැළඳගෙන ඔහු සිඹගත්තේ ය. පසුව ඔව්හු අඬන්නට වූ හ. ඒසව් නෙත් ඔසවා බැලූ විට, ස්ත්‍රීන් හා දරුවන් දැක, “ඔබ සමඟ සිටින මේ අය කාගේ දැ”යි ඇසූ විට, ජාකොබ් පිළිතුරු දෙමින්, “දෙවියන් වහන්සේ ඔබේ දාසයා හට කරුණාව පා දුන් දරුවෝ ය”යි කී ය. එවිට සේවිකාවෝ ද ඔවුන්ගේ දරුවෝ ද ළඟට පැමිණ, ආචාර කළහ. ලෙයා තම දරුවන් සමඟ පැමිණ ආචාර කළ පසු ජෝසෙප් සහ රාකෙල් ද ළඟට පැමිණ ආචාර කළහ. එවිට ඒසව් ජාකොබ්ට කතා කොට, “මට හමු වූ මේ සතුන් සියල්ලන් ම කුමක් පිණිස දැ”යි ඇසූ විට, “මාගේ ස්වාමීන් ඉදිරියෙහි අනුග්‍රහය ලැබීම පිණිස යැ”යි ඔහු උත්තර දුනි. එකල ඒසව් කතා කොට, “මා සොහොයුර, මට උවමනා තරම් ඇත. ඔබට අයිති දේ ඔබ ම තබා ගන්නැ”යි කීවේ ය. එවිට ජාකොබ් ඔහුට උත්තර දෙමින්, “එසේ නො වේ වා, කරුණාකර ඔබ ඉදිරියෙහි මම ඔබේ ප්‍රසාදය ලදිම් නම්, මා අතින් මාගේ තෑග්ග පිළිගන්න. ඔබ මා සාදරයෙන් පිළිගන්නෙහි නම්, මට ඔබේ මුහුණ දැකීම හරියට දෙවියන් වහන්සේගේ මුහුණ දැකීම හා සමාන ය. එබැවින්, කරුණාකර ඔබ වෙත ගෙනා මාගේ තිළිණය පිළිගන්න. මන්ද, දෙවියන් වහන්සේ මට කරුණා පෑ බැවින් මට උවමනා තරම් ඇතැ”යි කියා ඔහුට පෙරැත්ත කළෙන් ඒසව් එය බාරගත්තේ ය.

