උත්පත්ති 3:7-21

උත්පත්ති 3:7-21 NRSV

එවිට ඔවුන් දෙදෙනාගේ ම ඇස් පෑදී තමන් නග්න ව සිටි බව ඔව්හු තේරුම්ගත්හ. එබැවින් ඔව්හු අත්තික්කා කොළ එකට මසා ඉණ වැසුම් සාදාගත්හ. ඉක්බිති එදින සිසිල් සුළං හමන සැඳෑ සමයෙහි දෙවි සමිඳාණන් වහන්සේ උයනේ සක්මන් කරන හඬ ඔවුන්ට ඇසී, මිනිසා හා ඔහුගේ භාර්යාව උයනේ ගස් අතර උන් වහන්සේගෙන් සැඟවුණාහ. එහෙත්, දෙවි සමිඳාණන් වහන්සේ මිනිසාට හඬ ගසමින්, “නුඹ කොහේ දැ”යි ඇසූ සේක. “ඔබ වහන්සේගේ කටහඬ උයනේ මට ඇසිණි. එහෙත්, මා නග්න බැවින්, බිය වී සැඟවුණෙමි”යි ඔහු උත්තර දුන්නේ ය. එවිට උන් වහන්සේ, “නුඹ නග්න බව කීවේ කවරෙක් ද? මා නුඹට තහනම් කළ ගසින් නුඹ ගෙඩි කෑවෙහි දැ”යි ඇසූ සේක. ඔහු ද පිළිතුරු දෙමින්, “ඔබ මට සහකාරිය වශයෙන් දුන් ස්ත්‍රිය ඒ ගසේ ගෙඩි කඩා මට දුන්නා ය; මමත් කෑවෙමි”යි පැවසී ය. එවිට දෙවි සමිඳාණන් වහන්සේ ස්ත්‍රියට කතා කොට, “නුඹ මෙය කෙළේ මන්දැ”යි ඇසූ සේක. “සර්පයා මා රැවටී ය; මමත් කෑවෙමි”යි ඈ පිළිතුරු දුන්නා ය. එවිට දෙවි සමිඳාණන් වහන්සේ සර්පයාට කතා කොට මෙසේ වදාළ සේක: “තා මෙය කළ බැවින් සියලු ගමහිෂයන්ට ද වනයේ සියලු මෘගයන්ට ද වඩා තෝ සාප ලද්දෙක් වේ වා! දිවි ඇති තාක් උර ගා යමින් තෝ දූවිලි කන්නෙහි ය. තා සහ ස්ත්‍රිය අතර ද තගේ වංශය සහ ඇගේ වංශය අතර ද බද්ධ වෛරය තබන්නෙමි. ඔහු තගේ හිස පොඩි කරන්නේ ය; තෝ ද ඔහුගේ විලුඹ දෂ්ට කරන්නෙහි ය.” උන් වහන්සේ ස්ත්‍රියට කතා කොට මෙසේ වදාළ සේක: “නුඹේ ගැබ් ගැනීමේ වේදනා මම බොහෝ සේ වැඩි කරන්නෙමි. විලි රුදා ඇති ව නුඹ දරුවන් ප්‍රසූත කරන්නෙහි ය. එහෙත්, නුඹේ දැඩි ආශාව සැමියා කෙරෙහි වන්නේ ය. ඔහු නුඹ පාලනය කරන්නේ ය.” තවද උන් වහන්සේ මිනිසාට ද කතා කොට මෙසේ වදාළ සේක: “භාර්යාවගේ වචනයට සවන් දී, ‘නොකෑ යුතු ය’යි මා තහනම් කළ ගසේ ගෙඩි කෑ බැවින්, නුඹේ මේ ක්‍රියාව නිසා පොළොවට සාප වේ වා! දිවි ඇති තාක් නුඹ වෙහෙස මහන්සි වී එයින් ආහාර ලබාගන්නෙහි ය; පොළොවේ නුඹට කටු පඳුරු ද වල් පැලෑටි ද උපදින්නේ ය, නුඹට වනයේ පලා කන්නට සිදු වන්නේ ය. භූමියෙන් වූ නුඹ, යළි භූමියට යන තෙක්, ඩහදිය මහන්සියෙන් අහර උපයන්නෙහි ය. දුවිල්ලෙන් වූ නුඹ දූවිල්ලට ම යන්නෙහි ය.” මිනිසා සිය බිරිඳට ‘ඒව’ යන නම දුන්නේ ය. මන්ද, ඈ ජීවමාන සියල්ලන්ගේ මාතාව බැවිනි. දෙවි සමිඳාණන් වහන්සේ හම් වස්ත්‍ර සාදා ආදම්ට සහ ඔහුගේ භාර්යාවට හැඳවූ සේක.

උත්පත්ති 3:7-21 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය