උත්පත්ති 3:2-10

උත්පත්ති 3:2-10 NRSV

ස්ත්‍රිය සර්පයාට උත්තර දෙමින්, “උයනේ ඕනෑ ම ගහක ගෙඩි කන්නට අපට අවසර ඇත. එහෙත්, උයන මැද තිබෙන ගහේ ගෙඩි කන්නටත්, ඒවාට අත ගසන්නටත් දෙවියන් වහන්සේ අපට තහනම් කර ඇත. එසේ කළොත් අප මැරෙනවාම ය”යි කීවා ය. එවිට සර්පයා පිළිතුරු දෙමින්, “සැබැවින් ම ඔබ මැරෙන්නේ නැත. ඔබ ඒ ගසේ ගෙඩි කන දවසේ දී ඔබ‍‍ගේ ඇස් පෑදී, දෙවියන් හා සමාන වී, ඔබත් හොඳ-නරක අවබෝධ කරගන්න බව දෙවියන් වහන්සේ දන්න නිසා එසේ වදාළ සේකැ”යි කී ය. ස්ත්‍රිය ද ගස පෙනුමට කෙතරම් රමණීය ද පල කෙතරම් ප්‍රණීත ද නුවණ වැඩුමට කෙතරම් කදිම ද කියා දුටු විට එයින් ගෙඩි කීපයක් කඩා කෑවා ය. තමා සමඟ සිටි සිය සැමියාට ද ඉන් සමහරක් දුන් විට ඔහු ද කෑවේ ය. එවිට ඔවුන් දෙදෙනාගේ ම ඇස් පෑදී තමන් නග්න ව සිටි බව ඔව්හු තේරුම්ගත්හ. එබැවින් ඔව්හු අත්තික්කා කොළ එකට මසා ඉණ වැසුම් සාදාගත්හ. ඉක්බිති එදින සිසිල් සුළං හමන සැඳෑ සමයෙහි දෙවි සමිඳාණන් වහන්සේ උයනේ සක්මන් කරන හඬ ඔවුන්ට ඇසී, මිනිසා හා ඔහුගේ භාර්යාව උයනේ ගස් අතර උන් වහන්සේගෙන් සැඟවුණාහ. එහෙත්, දෙවි සමිඳාණන් වහන්සේ මිනිසාට හඬ ගසමින්, “නුඹ කොහේ දැ”යි ඇසූ සේක. “ඔබ වහන්සේගේ කටහඬ උයනේ මට ඇසිණි. එහෙත්, මා නග්න බැවින්, බිය වී සැඟවුණෙමි”යි ඔහු උත්තර දුන්නේ ය.

උත්පත්ති 3:2-10 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය