උත්පත්ති 29:13-30

උත්පත්ති 29:13-30 NRSV

ලාබන් තම සොහොයුරීගේ පුත් ජාකොබ්ගේ වගතුග ඇසූ විට, ඔහු හමු වීමට දිව ගොස්, ඔහු සිප වැළඳගෙන තම නිවසට ඔහු ගෙනාවේ ය. එවිට ලාබන් ඔහුට කතා කොට, “සැබැවින් ම ඔබ මාගේ ම මස් හා ලේ නෑයෙක් ය”යි කී ය. ජාකොබ් ද ඔහු සමඟ මාසයක් විසී ය. ඉන්පසු ලාබන් ජාකොබ්ට කතා කොට, “ඔබ මාගේ ඥාතියෙකු නිසා නොමිලේ මට සේවය කිරීම යුතු ද? ඔබේ වේතනය කුමක් දැ යි මට දන්වන්නැ”යි කී ය. ලාබන්ට දූවරු දෙදෙනෙක් සිටියාහ. වැඩිමලාගේ නම ලෙයා ය; බාලයාගේ නම රාකෙල් ය. ලෙයාගේ ඇස් සිවුමැලි ය; රාකෙල් රූමත් ය, සුකොමල ය, ජාකොබ් රාකෙල්ට පෙම් බැඳ, “ඔබේ බාල දූ වන රාකෙල් නිසා අවුරුදු සතක් මම ඔබට සේවය කරන්නෙමි”යි කී ය. ලාබන් ද කතා කොට, “වෙන මිනිසෙකුට ඈ පාවා දෙනවාට වඩා, ඔබට ඈ දීම හොඳ ය. එබැවින් මා සමඟ නවතින්නැ”යි උත්තර දුනි. ජාකොබ් ද රාකෙල් නිසා අවුරුදු සතක් සේවය කෙළේ ය. එහෙත්, ඔහු ඈට ප්‍රේම කළ බැවින් ඒ ගත කළ කාලය ස්වල්ප දවසක් මෙන් ඔහුට හැඟිණි. ඉන්පසු ජාකොබ් ලාබන්ට කතා කොට, “මාගේ සේවා කාලය දැන් සම්පූර්ණ වී ඇත. මාගේ භාර්යාව සමඟ එක් වනු පිණිස ඇය මට දෙන්නැ”යි ඉල්ලී ය. ලාබන් එහි සිටි සියලු මිනිසුන් කැඳවා මංගල භෝජනයක් පැවැත්වී ය. පසුව එම රාත්‍රියේ ඔහු, තම දුව වන ලෙයා කැඳවා ගෙන ජාකොබ් වෙත ගෙනාවේ ය. ජාකොබ් ද ඈ සමඟ එක් විය. තවද, ලාබන් තම දාසිය වන ශිල්පා, ලෙයාගේ සේවිකාව වශයෙන් තම දුවට දුන්නේ ය. පසු දින උදය පහන් වූ කල පුදුමයකට මෙන්, එහි සිටියේ ලෙයා ය. එවිට ඔහු ලාබන් අමතා, “ඔබ මට කළ මේ දේ කුමක් ද? මා ඔබට සේවය කෙළේ රාකෙල් නිසා නොවේ ද? ඔබ මා රැවටුවේ මන්දැ”යි ඇසී ය. ලාබන් ද උත්තර දෙමින්, “වැඩිමලාට කලින් බාලයා සරණ පාවා දීම අපේ රටේ සිරිත නොවේ. ඇගේ මංගල සතිය සම්පූර්ණ කරන්න, ඔබ මට තව සත් අවුරුද්දක් සේවය කරන්නෙහි නම් රාකෙල් ද ඔබට සරණ පාවා දෙන්නෙමි”යි කී ය. ජාකොබ් ද එසේ කර, මංගල සතිය සම්පූර්ණ කළ පසු, ලාබන් ඔහුට තම දුව වන රාකෙල්, බිරිඳ වශයෙන් සරණ පාවා දුන්නේ ය. ඔහු, තම දාසිය වන බිල්හා, තම දුව වන රාකෙල්ට ඇගේ සේවිකාව වශයෙන් දුනි. ජාකොබ්, රාකෙල් සමඟ ද එක් වුණි. ඔහු ලෙයාට වඩා රාකෙල්ට ප්‍රේම කළේ ය. තව අවුරුදු සතක් ද ලාබන්ට සේවය කෙළේ ය.

උත්පත්ති 29:13-30 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය