උත්පත්ති 22:2-12

උත්පත්ති 22:2-12 NRSV

එවිට උන් වහන්සේ “නුඹ දැන්, නුඹේ පුත්‍රයා-නුඹ ප්‍රේම කරන නුඹේ එක ම පුත්‍රයා වන ඊසාක් ගෙන මොරියා දේශයට යන්න, එහි ගොස්, මා නුඹට පෙන්වන කන්ද මත දවන යාග පූජාවක් මෙන් ඔහු මට ඔප්පු කරන්නැ”යි වදාළ සේක. ආබ්‍රහම් උදෑසනින් නැඟිට, තම කොටළුවාට සෑදලය යොදා, සේවකයන් දෙදෙනෙකු ද සිය පුත් ඊසාක් ද රැගෙන, දවන යාග පූජාව සඳහා දර ද පළාගෙන දෙවියන් වහන්සේ වදාළ ස්ථානයට පිටත් ව ගියේය. තුන් වන දින, ආබ්‍රහම් හිස ඔසවා බැලූ විට, දුරින් පිහිටි එම ස්ථානය දිටී ය. එවිට ඔහු සිය සේවකයන්ට කතා කොට, “කොටළුවා සමඟ මෙහි නවතින්න, දරුවා ද මම ද අතනට ගොස්, වැඳ පුදා ආපසු එන්නෙමු”යයි කීවේ ය. මෙසේ කියා ආබ්‍රහම් දවන යාග පූජාවට සූදානම් කළ දර සිය පුත් ඊසාක් මත තබා, තම අතට ගින්දර ද පිහිය ද ගෙන, දෙදෙනා ම එක් ව යන්න පිටත් වූ හ. මෙසේ යද්දී, ඊසාක් තම පිය ආබ්‍රහම්ට, “තාත්තේ” කියා ඇමතූ විට, “පුතා, මම මෙහි ය”යි ඔහු පිළිතුරු දුනි. එවිට ඊසාක්, “තාත්තේ, මෙහි දරත් ඇත; ගින්දරත් ඇත; නමුත් පූජාවට බැටළු පැටවා කොහේ ද” කියා ඇසී ය. එවිට ආබ්‍රහම්, “පුතා, දෙවියන් වහන්සේ ම පූජාව සඳහා බැටළු පැටවා දෙන සේකැ”යි පිළිතුරු දුනි. මෙලෙස දෙදෙනා ම ගමන් කළහ. මෙසේ ගමන් කොට දෙවියන් වහන්සේ වදාළ ස්ථානයට ඔවුන් පැමිණි විට, ආබ්‍රහම් එහි පූජාසනයක් ඉදි කර, පිළිවෙළට දර කෑලි තබා, තම පුත් ඊසාක් බැඳ, පූජාසනය පිට තැනූ දර සෑය මත තැබී ය. මෙසේ තබා ඔහු අත දිගු කොට, සිය පුතු මරනු පිණිස පිහිය ගත්තේ ය. එවිට සමිඳාණන් වහන්සේගේ දූතයා ස්වර්ගයේ සිට, “ආබ්‍රහම්, ආබ්‍රහම්” කියා හඬගැසී ය. “මම මෙහි සිටිමි”යි ඔහු කී ය. එවිට දූතයා, “ළමයාට අත නොගසන්න, ඔහුට කිසි අනතුරක් නොකරන්න, ඔබේ පුත්‍රයා, ඔබේ එක ම පුත්‍රයා පූජා කිරීමට තරම්, ඔබ දේව ගරුබිය ඇත්තෙකු බව මට දැන් පෙනේ ය”යි පැවසී ය.

මෙයට අදාළ වීඩියෝ

උත්පත්ති 22:2-12 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය