එස්රා 5:12-17
එස්රා 5:12-17 NRSV
එහෙත්, අපේ පියවරුන් විසින් ස්වර්ගයේ දෙවියන් වහන්සේ උදහස් කරනු ලැබූ බැවින් උන් වහන්සේ කල්දිය වූ බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් අතට ඔවුන් පාවා දුන් සේක. ඔහු ද මේ මාලිගාව විනාශ කොට සෙනඟ බබිලෝනියට ගෙන ගියේ ය. එහෙත්, බබිලෝනියේ රජු වූ සයිරස්ගේ පළමු වන අවුරුද්දේ දී, දෙවියන් වහන්සේගේ මේ මාලිගාව ගොඩනඟන්නට සයිරස් රජ නියෝගයක් කෙළේ ය. තවද, නෙබුකද්නෙශර් රජු ජෙරුසලමෙහි තිබුණු මාලිගාවෙන් ගෙන ගොස්, බබිලෝනියේ දේවාලයේ තැබූ දෙවියන් වහන්සේගේ මාලිගාවේ රන් රිදී භාණ්ඩ, සයිරස් රජ බබිලෝනියේ දේවාලයෙන් රැගෙන, තමා දිශාධිපතියා වශයෙන් පත් කළ ෂෙෂ්බශර් යන නාමය ඇති තැනැත්තාට භාර දුන්නේ ය. ඔහු කතා කොට, ‘මේ භාණ්ඩ ගෙන ගොස් ජෙරුසලමෙහි තිබෙන මාලිගාවේ තබන්න; දෙවියන් වහන්සේගේ මාලිගාව ද කලින් තිබූ ස්ථානයෙහි ගොඩනඟනු ලබාවා’යි ද කීවේ ය. එවිට එම ෂෙෂ්බශර් අවුත් ජෙරුසලමෙහි තිබෙන දෙවියන් වහන්සේගේ මාලිගාවේ අත්තිවාරම දැමුවේ ය. එතැන් පටන් මේ දක්වා එය ගොඩනඟාගෙන යන නමුත් තව ම එය නිමකර නැතැ’යි අපට කීවෝ ය. ඒ නිසා රජුට යහපතැ යි පෙනේ නම්, ජෙරුසලමෙහි දෙවියන් වහන්සේගේ මේ මාලිගාව ගොඩනඟන්නට සයිරස් රජු විසින් නියෝගයක් කරන ලද්දේ දැ යි බබිලෝනියේ තිබෙන රජුන්ගේ භාණ්ඩාගාරයෙහි සොයා බලන්න සලස්වා, මේ කාරණය ගැන රජතුමාගේ කැමැත්ත අපට දන්වා එවුව මැනව.”

