එසකියෙල්ගේ 37:23-28

එසකියෙල්ගේ 37:23-28 NRSV

ඔව්හු තමන්ගේ දේව රූපවලින් වත්, තමන්ගේ පිළිකුල් ක්‍රියාවලින් වත්, තමන්ගේ සියලු ම පාප ක්‍රියාවලින් වත් තමන් කිළුටු කර නොගනිති. ඔවුන් කළ පව්වලින් මම ඔවුන් ගළවා ඔවුන් පිරිසිදු කරන්නෙමි. මෙසේ ඔව්හු මාගේ සෙනඟ වන්නෝ ය. මම ද ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි. මාගේ සේවක දාවිත් වැනි රජෙක් ඔවුන් කෙරෙහි රජ වන්නේ ය; ඔවුන් සියල්ලන්ට ම එක එඬේරෙක් වන්නේ ය. ඔව්හු මාගේ නියෝග ලෙස හැසිර, මාගේ පණත් අනුගමනය කර ඒවා ඉටු කරන්නෝ ය. මාගේ සේවක ජාකොබ්ට මා දුන්, නුඹලාගේ පියවරුන් වාසය කළ දේශයෙහි ඔවුන් වාසය කරනු ඇත; එසේ ඔව්හු ද ඔවුන්ගේ දරුවෝ ද ඔවුන්ගේ දරුවන්ගේ දරුවෝ ද සදාකාලයට ම එහි වාසය කරන්නෝ ය. මාගේ සේවක දාවිත් වැනි රජෙක් සදාකාලයට ම ඔවුන්ට අධිපතියා වන්නේ ය. තවද, මම සාමදාන ගිවිසුමක් ඔවුන් සමඟ කරන්නෙමි. එය ඔවුන් සමඟ සදාකාල ගිවිසුමක් වන්නේ ය. මම ඔවුන්ට ආසිරි පතා, ඔවුන් වැඩි වර්ධනය කොට, මාගේ ශුද්ධස්ථානය ඔවුන් අතරෙහි සදාකාලයට ම පිහිටුවන්නෙමි. මම ඔවුන් සමඟ වැඩවසන්නෙමි. මම ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි. ඔව්හු මාගේ සෙනඟ වන්නෝ ය. මාගේ ශුද්ධස්ථානය හැම කල්හි ම ඔවුන් අතරෙහි තිබීමෙන් මා ඉශ්රායෙල් විශුද්ධ කරන සමිඳාණන් වහන්සේ බව විජාතීන් දැනගනු ඇත.”

මෙයට අදාළ වීඩියෝ

එසකියෙල්ගේ 37:23-28 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය