නික්මයාම 4:1-7

නික්මයාම 4:1-7 NRSV

එවිට මෝසෙස් පිළිතුරු දෙමින්, “හොඳයි, ඔව්හු මා විශ්වාස නොකොට, මාගේ හඬට සවන් නො දී, සමිඳාණන් වහන්සේ ඔබට දර්ශනය නො වූ සේකැ’යි කීවොත් කුමක් කරන්න දැ”යි ඇසී ය. සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, “නුඹේ අතේ තිබෙන්නේ කුමක් දැ”යි ඇසූ සේක. ඔහු, “සැරයටියකැ”යි කී ය. උන් වහන්සේ කතා කොට, “එය බිම දමන්නැ”යි වදාළ සේක. ඔහු එය බිම දැමී ය, එය සර්පයෙක් විය. එවිට මෝසෙස් ඌ ඉදිරියෙන් අහකට පැන්නේ ය. සමිඳාණන් වහන්සේ ඔහු අමතමින්, “නුඹේ අත දිගු කොට උගේ වල්ගයෙන් අල්ලාගන්නැ”යි වදාළ සේක. මෝසෙස් ද අත දිගු කොට, ඌ වල්ගයෙන් අල්ලා ගත් විට, ඌ ඔහුගේ අතෙහි සැරයටියක් බවට හැරිණි. උන් වහන්සේ ද, “ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ද ඊසාක්ගේ දෙවියන් වහන්සේ ද ජාකොබ්ගේ දෙවියන් වහන්සේ ද වන ඔවුන්ගේ පියවරුන්ගේ දෙවියන් වහන්සේ නුඹට දර්ශනය වූ බව ඔවුන් විශ්වාස කරන පිණිස මෙය කරන්නැ”යි වදාළ සේක. තවදුරටත් උන් වහන්සේ ඔහුට කතා කරමින්, “දැන් නුඹේ අත ළයෙහි තබන්නැ”යි වදාළ සේක. ඔහු තම අත ළයෙහි තැබී ය. ඔහු එය අහකට ගත් විට, පුදුමයකි, ඔහුගේ අත හිම මෙන් සුදු කුෂ්ඨයකින් වැසී තිබිණි. යළිත් උන් වහන්සේ කතා කොට, “නැවත නුඹේ අත ළයෙහි තබන්නැ”යි වදාළ විට ඔහු තම අත ළයෙහි තැබී ය. එය ළයෙන් ඉවතට ගත් විට, පුදුමයකි, එය තම මාංසය මෙන් ප්‍රකෘති ස්වභාවයට හැරී තිබිණි.