නික්මයාම 3:7-15

නික්මයාම 3:7-15 NRSV

සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට මෙසේ වදාළ සේක: “මිසරයේ සිටින මාගේ සෙනඟගේ දුඃඛිත තත්ත්වය මම දිටිමි. ඔවුන්ගේ විධායකයන්ට විරුද්ධ ව නඟින මොරගැසීමට මම සවන් දුනිමි. ඔවුන්ගේ දුක් වේදනා මම හොඳින් දනිමි. මිසර ජාතීන්ගේ අතින් ඔවුන් මුදා, ඒ රටින් ඔවුන් පිට කරවා, සාරවත් විශාල දේශයකට, කිරෙන් හා මී පැණියෙන් ඉතිරෙන දේශයකට, එනම් කානානිවරුන්ගේ හා හිත්තීවරුන්ගේ ද අමෝරිවරුන්ගේ හා පෙරිස්සිවරුන්ගේ ද හිවීවරුන්ගේ හා ජෙබුසිවරුන්ගේ ද දේශයට ඔවුන් පමුණුවාලීම සඳහා මම බැස ආවෙමි. දැන් ඉතින්, මෙන්න, ඉශ්රායෙල් ජනතාවගේ මොරගැසීම මා වෙත නැඟී ඇත. තවද, මිසර වාසීන් දෙන දරුණු පීඩාවන් ද මා දැක ඇත. එබැවින් දැන් ඉතින් එන්න, මාගේ සෙනඟ වන ඉශ්රායෙල් ජනතාව මිසරයෙන් පිටතට ගෙන යන පිණිස, මම නුඹ පාරාවෝ වෙත යවමි.” එවිට මෝසෙස් දෙවියන් වහන්සේට කතා කොට, “පාරාවෝ වෙත යාමටත්, ඉශ්රායෙල් ජනයා මිසරයෙන් පිටතට ගෙන ඒමටත් මම කවරෙක් දැ”යි ඇසී ය. දෙවියන් වහන්සේ උත්තර දෙමින්, “මම නුඹ සමඟ සිටිමි. මා නුඹ එවූ බව දැනගැනීමට නුඹට දෙන ලකුණ මෙය වේ: එනම්, නුඹ සෙනඟ මිසරයෙන් පිටතට ගෙනා විට, මේ කන්ද මත නුඹලා දෙවියන් වහන්සේ වන මා හට වැඳුම්පිදුම් කරන්නහු ය”යි වදාළ සේක. එවිට මෝසෙස් දෙවියන් වහන්සේට කතා කොට, “එසේ නම් මා, ඉශ්රායෙල් සෙනඟ වෙත ගොස්, ‘නුඹලාගේ පියවරුන්ගේ දෙවියන් වහන්සේ මා නුඹලා වෙත එවූ සේකැ’යි කී විට, ඔවුන් ද, ‘උන් වහන්සේගේ නම කුමක් දැ’යි මාගෙන් අසන කල මම ඔවුන්ට කුමක් කියම් දැ”යි ඇසී ය. උන් වහන්සේ මෝසෙස්ට පිළිතුරු දෙමින්, “මම වනාහි ස්වයම්භූ නම් තැනැන් වහන්සේ වෙමි. ‘ස්වයම්භූ තැනැන් වහන්සේ ඔබ වෙත මා එවූ සේකැ’යි නුඹ ඉශ්රායෙල් ජනයාට කිව යුතු ය”යි වදාළ සේක. තවදුරටත් උන් වහන්සේ මෝසෙස්ට කතා කරමින්, මෙසේ වදාළ සේක: “ ‘ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ද ඊසාක්ගේ දෙවියන් වහන්සේ ද ජාකොබ්ගේ දෙවියන් වහන්සේ ද වන නුඹලාගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ වෙත මා එවූ සේකැ’යි කිව යුතු ය; සදහට ම මෙය මාගේ නාමය වේ; මතු සියලු පරම්පරාවෝ මේ නාමයෙන් මට ආමන්ත්‍රණය කරති.”

මෙයට අදාළ වීඩියෝ

නික්මයාම 3:7-15 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය