නික්මයාම 18:14-27
නික්මයාම 18:14-27 NRSV
තවද, සෙනඟ සම්බන්ධයෙන් මෝසෙස් කරන්නට වූ සියල්ල දුටු මෝසෙස්ගේ මාමණ්ඩි ඔහුට කතා කරමින්, “ඔබ සෙනඟට මේ කරන්නේ කුමක් ද? ඔබ තනියම අසුන් ගෙන සිටින්නෙත්, මුළු සෙනඟ උදේ පටන් සවස දක්වා ඔබ ළඟ සිටින්නෙත් මන්දැ”යි විචාළේ ය. එවිට මෝසෙස් තම මාමණ්ඩිට පිළිතුරු දෙමින්, “මා මෙසේ කරන්නේ, සෙනඟ දෙවියන් වහන්සේගෙන් උපදෙස් ලබාගැනීම සඳහා මා වෙත එන නිසා ය. ඔවුන් අතර ප්‍රශ්නයක් ඇති වූ විට ඔව්හු මා වෙත එති. මම ද ඔවුනොවුන් විනිශ්චය කොට දෙවියන් වහන්සේගේ ආඥා සහ අණපණත් ඔවුන්ට දන්වමි”යි කීවේ ය. එවිට මෝසෙස්ගේ මාමා ඔහුට කතා කොට, “ඔබ කරන දේ හරි නැත. ඔබත්, ඔබ ළඟ සිටින මේ සෙනඟත් අතිශයින් විඩාවට පත්වනු ඇත. මේ කටයුත්ත ඔබට බර වැඩි ය. ඔබට එය තනියම ඉටු කිරීම නොහැක. එබැවින් දැන් මා කියන දේට සවන් දෙන්න. මම ඔබට දැනමුතුකමක් දෙමි. දෙවියන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටින සේක. ඔබ දෙවියන් වහන්සේ ඉදිරියෙහි නියෝජිතයෙකු වී, නඩුහබ උන් වහන්සේ ඉදිරියට පමුණුවන්න. ඔබ ඔවුන්ට ආඥා සහ අණපණත් උගන්වමින් ඔවුන් හැසිරිය යුතු අන්දම හා ඔවුන් ඉටු කළ යුතු දේ ද පෙන්වා දිය යුතු ය. තවද, ඔබ මුළු සෙනඟ අතුරින් දේව භය ඇති, සත්‍යවාදී, අල්ලස් නොගන්නා දක්ෂ මිනිසුන් තෝරා ඔවුන් අතර සහශ්‍රාධිපතීන් ද ශතාධිපතීන් ද පණසාධිපතීන් හා දශාධිපතීන් ද වශයෙන් ඔවුන් පත් කරන්න. ඔවුන් සියලු අවස්ථාවන්හි දී මිනිසුන් විනිශ්චය කළ යුතු ය. එහෙත්, වැදගත් ප්‍රශ්නයක් තිබේ නම් ඔවුන් ඔබ වෙත එය ගෙනා යුතු ය. එහෙත්, සෑම සුළු කරුණක් ඔවුන් ම විනිශ්චය කළ යුතුයි. එසේ කළොත් ඔබට වඩාත් පහසු වේ. ඔවුන් ද ඔබ සමඟ වගකීමේ බර උසුලනු ඇත. දෙවියන් වහන්සේ ඔබට අණ කරන ලෙස ඔබ මෙය කරන්නෙහි නම් ඔබ විඩාවට පත් නොවනු ඇත. මේ සෙනඟට ද තම තමන්ගේ ගෙවලට සමගි සාමදානයෙන් යන්න පුළුවන් වේ ය”යි කී ය. මෝසෙස් තම මාමණ්ඩි කී දේට සවන් දී ඔහු කී සියල්ල ඉටු කෙළේ ය. ඔහු ඉශ්රායෙල්වරුන් සියලු දෙනා අතුරින් දක්ෂ මිනිසුන් තෝරා සහශ්‍රාධිපතීන් ද ශතාධිපතීන් ද පණසාධිපතීන් හා දශාධිපතීන් ද වශයෙන් සෙනඟගේ නායකයන් ලෙස පත් කෙළේ ය. ඔව්හු සියලු අවස්ථාවල දී සෙනඟ විනිශ්චය කළහ. දුෂ්කර ප්‍රශ්න ඔවුන් මෝසෙස් වෙත ගෙනා නමුත්, සෑම සුළු කරුණක් ම ඔව්හු ම විනිශ්චය කළහ. ඉන්පසු මෝසෙස් තම මාමණ්ඩිට යන්නට හැරියේ ය. ඔහු ද සිය රට බලා ගියේ ය.

