නික්මයාම 17:1-6

නික්මයාම 17:1-6 NRSV

තවද, මුළු ඉශ්රායෙල් ජනතාව සීන් නමැති පාළුකරයෙන් නික්ම සමිඳාණන් වහන්සේගේ අණ පරිදි කඳවුරින් කඳවුරට ගොස් රෙපිඩීම් නම් ස්ථානයේ කඳවුරු බැඳගත්හ. එහෙත්, එහි සෙනඟට බීමට වතුර නො වී ය. එවිට ඔව්හු මෝසෙස්ට අවලාද කියමින්, “අපට බොන්න වතුර දෙන්නැ”යි ඉල්ලූ හ. මෝසෙස් ඔවුන්ට පිළිතුරු දෙමින්, “ඔබ මට අවලාද කියන්නේ ඇයි? ඔබ කුමක් නිසා සමිඳාණන් වහන්සේ පරීක්ෂා කරන්නහු දැ”යි ඇසී ය. සෙනඟ ද පිපාසයෙන් පෙළෙමින් මෝසෙස්ට විරුද්ධ ව කොඳුර කොඳුරා, “ඔබ අප මිසරයෙන් පිටතට ගෙනාවේ මන් ද? අප ද අපේ දරුවන් ද අපේ ගවමහිෂයන් ද පිපාසයෙන් මරාදමන්නට දැ”යි විචාළහ. මෝසෙස් එවිට සමිඳාණන් වහන්සේට මොරගසමින්, “මේ සෙනඟට මා කුමක් කරන්න ද? ඔව්හු මට ගල් ගසන්නට සැරෙසති”යි කීවේ ය. එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා, “ඔබ ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයන් සමහරෙකු ද කැටුව සෙනඟට ඉදිරියෙන් යන්න. තවද, ඔබ ගංගාවේ දියට පහර දුන් සැරයටිය ද ඔබ අත රැගෙන යා යුතු ය. බලන්න, මම ද හොරෙබ්හි පර්වතය මත ඔබ ඉදිරිපිට සිටිමි. ඔබ පර්වතයට ගැසිය යුතු ය. එවිට සෙනඟට බීමට ජලය එයින් ගලා එනු ඇතැ”යි වදාළ සේක. මෝසෙස් ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයන් බලාගෙන සිටිය දී එලෙස කෙළේ ය.

නික්මයාම 17:1-6 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය