නික්මයාම 14:10-15

නික්මයාම 14:10-15 NRSV

පාරාවෝ ළං වූ විට ඉශ්රායෙල් ජනයා හිස් ඔසවා බලා තමන් පසුපස මිසර වාසීන් එනු දැක, මහත් සේ බිය වී සමිඳාණන් වහන්සේට මොරගැසූ හ. ඔව්හු මෝසෙස්ට කතා කොට, “මේ පාළුකරයේ මැරෙන්නට අප ගෙනාවේ මිසරයේ මිනීවළවල් නැති නිසා ද? මිසරයෙන් අප පිටත ගෙනවුත් අපට මෙලෙස කරන්නේ මන් ද? ‘මිසර වාසීන්ට වහල් මෙහෙවර කරන්නට අපට ඉඩ දුන මැනවැ’යි ඔබට මිසරයේ දී කීවේ මේ නිසා නො වේ ද? පාළුකරයේ මියයනවාට වඩා මිසර වාසීන්ට වහල් මෙහෙවර කළා නම් හොඳ නො වේ දැ”යි ඇසූ හ. මෝසෙස් සෙනඟට පිළිතුරු දෙමින්, “බිය නොවන්න, ස්ථිර ව සිටින්න, සමිඳාණන් වහන්සේ අද ඔබ ගළවාලන පිණිස උන් වහන්සේ ඉටු කරන දේ ඔබ දකින්නහු ය. අද ඔබ දකින මිසර වාසීන් මින්පසු ඔබ කවදා වත් නොදකින්නහු ය. උන් වහන්සේ ඔබ උදෙසා සටන් කරන සේක. ඔබ නිශ්චල ව සිටිය යුතු ය”යි කී ය. සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක: “නුඹ මට මොරගසන්නේ මන් ද? ඉශ්රායෙල් ජනයාට ‘ඉදිරියට යන්නැ’යි කියන්න.