එස්තර් 8:7-11

එස්තර් 8:7-11 NRSV

එවිට අහෂ්වේරොෂ් රජ එස්තර් රැජිනටත්, ජුදෙව් ජාතික මොර්දෙකයිටත් කතා කොට, “හාමාන්ගේ ගෙය එස්තර්ට දිනිමි. ඔහු ජුදෙව්වරුන්ට විරුද්ධ ව කළ කුමන්ත්‍රණය නිසා ඔහු එල්ලුම් ගහේ එල්ලා දැමීමට සැලැස්සුවෙමි. ඉතින් ඔබට සුදුසු යයි පෙනෙන හැටියට ඔබ ජුදෙව්වරුන් උදෙසා රජුගේ නාමයෙන් ලියුම් ලියා, රජුගේ මුද්‍රාවෙන් මුද්‍රා කර යවන්න. රජුගේ නාමයෙන් ලියා රජුගේ මුද්‍රාවෙන් මුද්‍රා කළ නිවේදනයක් කිසිවෙකුට අවලංගු කළ නොහැකි ය”යි කීවේ ය. එකල සිවාන් මාසය වන තුන් වන මාසයේ විසිතුන් වන දා රජුගේ ලේකම්වරු ගෙන්වනු ලැබූ හ. මොර්දෙකයි අණ කළ සියල්ල ලෙස ජුදෙව්වරුන්ට ද රටවල් එකසිය විසිහතක් වූ ඉන්දියාවේ සිට එතියෝපියාව දක්වා තිබෙන රටවල දිශාධිපතීන්ට ද ආණ්ඩුකාරයන්ට ද පළාත්වල අධිපතීන්ට ද ඒ ඒ රටේ අකුරුවලින් සහ ඒ ඒ සෙනඟගේ භාෂාවෙන් ද ජුදෙව්වරුන්ට ඔවුන්ගේ අකුරුවලින් සහ ඔවුන්ගේ භාෂාවෙන් ද ලියා යවන ලදී. ඔහු අහෂ්වේරොෂ් රජුගේ නාමයෙන් ලියා, රජුගේ මුද්‍රාවෙන් මුද්‍රා කොට, රජුගේ අස් හලේ උපන්, රාජ සේවයෙහි යෙදූ, ශීඝ්‍රයෙන් ගමන් කළ සෛන්ධවයන් පිට නැඟී යන පණිවුඩකාරයන් අත ලියුම් යැවී ය. මේ ලියුම්වලින් රජතුමා සෑම නගරයක ම සිටි ජුදෙව්වරුන්ට සිය දිවි රැකගැනීම පිණිස සංවිධාන වීමටත්, ඔවුන්ට පහර දෙන්නට තැත් කළ කිනම් ජාතියක හෝ ප්‍රදේශයක හෝ සන්නද්ධ සේවාවන් ඔවුන්ගේ බාලයන් ද ස්ත්‍රීන් ද ඇතුළු සියලු දෙනා සමූලඝාතනය කරන්නත්, මරන්නත්, විනාශ කරන්නත්, ඔවුන්ගේ දේපළ පැහැර ගන්නත් අවසර දෙන ලදී.