එස්තර් 2:10-20

එස්තර් 2:10-20 NRSV

එස්තර් තොමෝ ඇගේ ජාතිය කුමක් ද කියාවත්, ඇගේ සෙනඟ කවුරු ද කියාවත් එළිදරව් නොකළා ය. මන්ද, ඒවා එළිදරව් නොකරන ලෙස මොර්දෙකයි ඈට අණ කර තිබුණේ ය. එස්තර්ගේ සැපසනීප කෙසේ ද කියාත්, ඈට කුමක් සිදු වේ ද කියාත් දැනගන්න පිණිස මොර්දෙකයි අන්තඃපුරයේ මළුව ඉදිරියේ දිනපතා ඔබමොබ ­සක්මන් කෙළේ ය. ස්ත්‍රීන්ට සූදානම් වීමට නියමිත මුළු කාලය දොළොස් මාසයක් විය. ඒ කාලයේ දී සුවඳලාටු තෙල් හය මාසයක් ද සුගන්ධ ද්‍රව්‍ය සහ ස්ත්‍රීන්ගේ රූපලාවණ්‍යය සඳහා තෛලය හය මාසයක් ද පාවිච්චි කරන ලදී. මේ කාලය සම්පූර්ණ වූ පසු ඔවුන්ට අහෂ්වේරොෂ් රජු ළඟට යන්නට වාරය පැමිණියේ ය. තරුණියක රජු ළඟට යන විට, අන්තඃපුරයෙන් තමා කැමැති දෙයක් ගෙන යන පිණිස ඈට අවසර තිබිණි. ඈ සවස ගොස් පසු දා උදේ රජුගේ නපුංසකයා වන, උපභාර්යාවන්ගේ රැකවලා වූ ෂයෂ්ගාස්ගේ රැකවරණයට භාර වන පිණිස දෙ වන අන්තඃපුරයට යන්නී ය. රජ ඈට ප්‍රිය වී නම්, ඇගේ නම කියා ඈට අඬගැසුවොත් මිස ඈ රජු ළඟට තවත් පැමිණියේ නැත. මොර්දෙකයි දුව වශයෙන් හදාගත්, ඔහුගේ බාප්පා වන අබිහයිල්ගේ දූ වූ එස්තර්ට රජු ළඟට යාමට වාරය පැමිණි විට, රජුගේ නපුංසකයා වන, ස්ත්‍රීන්ගේ රැකවලා වූ හෙගයි නියම කළ දේ හැර ඈ වෙන කිසිවක් නොඉල්ලුවා ය. එස්තර් දුටු සියල්ලෝ ඈට ප්‍රිය වූ හ. මෙසේ එස්තර් තොමෝ අහෂ්වේරොෂ් රජුගේ රජකම් කිරීමේ සත් වන අවුරුද්දේ තේබෙත් නම් දස වන මාසයේ දී රජ මැදුරට රජු වෙත ගෙනයනු ලැබුවා ය. රජ ද සියලු ම ස්ත්‍රීන්ට වඩා එස්තර්ට පෙම් කොට, සියලු කන්‍යාවන්ට වඩා ඈට කරුණාව ද ආදරය ද පෙන්වා, ඇගේ හිසේ රාජ කිරීටය තබා, වස්තී බිසව වෙනුවට ඇය බිසව කරගත්තේ ය. රජ තමාගේ සියලු අධිපතීන්ට හා සේවකයන්ට මහා මංගල්‍ය භෝජනයක් පිළියෙළ කර දුන්නේ ය. එය එස්තර්ට උපහාර දැක්වීමේ මංගල්‍යයකි. රජ සියලු ප්‍රදේශවල නිවාඩු දිනයක් පළ කර, රජ කෙනෙකුට ඔබින ලෙස තෑගි බෙදා දුන්නේ ය. දෙ වන වතාවේ කන්‍යාවන් රැස් කරන කල මොර්දෙකයි රජ වාසල් දොරටුවේ හිඳගෙන උන්නේ ය. මොර්දෙකයි එස්තර්ට අණ කළ ලෙස, ඇය තමාගේ සෙනඟ කවුරු ද කියා වත්, ඇගේ ජාතිය කුමක් ද කියා වත් නොදන්වා සිටියා ය. මොර්දෙකයි ළඟ එස්තර් ඇති දැඩි වන විට කළ ලෙස ඈ ඔහුගේ කීම ඉෂ්ට කළා ය.