එස්තර් 2:1-9

එස්තර් 2:1-9 NRSV

මේ සිද්ධියට පසු, අහෂ්වේරොෂ්ගේ කෝපය සංසිඳුණු කල්හි, ඔහු වස්තී සහ ඈ කළ දේ ද ඈට විරුද්ධ ව කළ නියමය ද සිහිපත් කෙළේ ය. එවිට රජුට සේවය කළ ඔහුගේ මෙහෙකරුවෝ කතා කොට, “රූපසම්පන්න කන්‍යාවන් රජුට සොයනු මැනව. එබඳු රූපසම්පන්න සියලු කන්‍යාවන් සූසා අගනුවර ඇති අන්තඃපුරයට ගෙනෙනු ලබන පිණිස රාජ්‍යයේ සියලු ප්‍රදේශවල නිලධාරීන්ට රජු විසින් නියම කරනු ලැබේවා. ස්ත්‍රීන් භාර ව සිටින්නා ද රජවරුන්ගේ නපුංසකයා ද වන හෙගයිගේ රැකවරණයට ඔවුන් භාර කරනු මැනව. ඒ කාන්තාවන්ට ඔවුන්ගේ රූපලාවණ්‍යය සඳහා අවශ්‍ය දේ සපයා දෙනු මැනව. එවිට රජ්ජුරුවන්ට ප්‍රිය ව පෙනෙන තරුණිය වස්තී වෙනුවට බිසෝ වේවා”යි කී හ. රජ මෙයට ප්‍රසන්න වී එලෙස කෙළේ ය. බෙන්ජමින් ගෝත්‍රයේ කිෂ්ගේ පුත්‍රයා වන ෂිමෙයිගේ පුත් ජායීර්ගේ පුත්‍රයා වන මොර්දෙකයි නම් ජුදෙව්වෙක් සූසා නම් අගනුවර සිටියේ ය. ඔහු වනාහි බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර් විසින් ජෙරුසලමෙන් අල්ලාගනු ලැබ, ජුදාහි රජ වූ ජෙකොනියා සමඟ ගෙනෙනු ලැබූ අය අතර වූවෙකි. ඔහු තමාගේ බාප්පාගේ දුව වන හදස්සා එනම්, එස්තර් දරුකමට හදාගත්තේ ය. මන්ද, ඇගේ පියා වත්, මවු වත් ජීවත් ව සිටියේ නැත. ඈ වනාහි ශෝභන, රූපසම්පන්න තැනැත්තියක් වූවා ය. ඇගේ මවුපියන් නැසුණු කල මොර්දෙකයි ඈ තමාගේ දුවක වශයෙන් හදාගත්තේ ය. රජුගේ ආඥාවත්, නියෝගයත් පළ කරනු ලැබූ කල්හි, බොහෝ කාන්තාවන් හෙගයිගේ රැකවරණය යටතේ තබන්නට සූසා අගනුවරට ගෙනෙනු ලැබූ විට, එස්තර් ද රජ මාලිගාවේ ස්ත්‍රීන්ගේ රැකවලා වන හෙගයිගේ රැකවරණයට ගෙනෙන ලද්දී ය. ඒ තරුණිය ද හෙගයිට ප්‍රිය වී ඔහුගෙන් කරුණාව ලැබුවා ය. ඔහු විගස සුවඳ විලවුන් ද ඇගේ ආහාර කොටස ද රජ මාලිගාවෙත් විශේෂයෙන් තෝරාගත් තරුණයන් සත්දෙනෙකු ද ඈට දී ඈට සහ ඇගේ මෙහෙකාරියන්ට අන්තඃපුරයේ ඉතා ම හොඳ කොටෙසහි ලැගුම් දුන්නේ ය.

මෙයට අදාළ වීඩියෝ

එස්තර් 2:1-9 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය