එස්තර් 1:1-12

එස්තර් 1:1-12 NRSV

ඉන්දියාවේ පටන් එතියෝපියාව දක්වා රටවල් එකසිය විසිහතක රජකම් කළ අහෂ්වේරොෂ්ගේ දවස්වල දී සිදු වූ සිදුවීම් මෙහි විස්තර කර ඇත. ඒ කාලයේ දී ඔහු සූසා නම් අගනුවර සිංහාසනාරූඪ ව සිටියේ ය. අහෂ්වේරොෂ් රජුගේ රාජ්‍ය සමයේ තුන් වන අවුරුද්දේ දී ඔහු තමාගේ සියලු අධිපතීන්ට ද විධායකයින්ට ද මංගල භෝජනයකින් සංග්‍රහ කෙළේ ය. පර්සියාවේ හා මේදියාවේ හමුදාවල අධිපතීහු ද ප්‍රාදේශීය ආණ්ඩුකාරයෝ හා ප්‍රභූවරයෝ ද ඒ අවස්ථාවේ දී පැමිණ සිටියහ. එකල්හි ඔහු තමාගේ රාජ්‍යයේ යස ඉසුර ද තමාගේ මහිමශ්‍රීයේ තේජස හා අලංකාරය ද බොහෝ දවස් එනම්, දවස් එකසිය අසූවක් මුළුල්ලේ ප්‍රදර්ශනය කෙළේ ය. මේ කාලය අවසන් වූ විට රජ තෙමේ සූසා නම් අගනුවර සිටි ලොකු කුඩා සියලු දෙනාට රාජ මාලිගා උයනේ වූ මළුවෙහි සත් දවසක් මුළුල්ලේ මංගල්‍ය භෝජනයක් දුන්නේ ය. එහි සුදු හා දම් පාට තිර, සිහින් හණ ලණුවලිනුත්, රත්නිල් ලණුවලිනුත්, රිදී මුදුවලට සවි කර, කිරිගරුඬ කුළුණුවලට බැඳ තිබිණි. එහි රතු, සුදු, කහ, කළු යන පාට ඇති මැණික් ගල් අල්ලන ලද බිමක් මත රන් රිදී යහන් විය. ඔවුන්ට බොන්න දුන්නේ රන් කුසලාන්වලින් ය. කුසලාන් ද එකිනෙකට වෙනස් විය. රජුගේ ත්‍යාගවන්තකමට සරිලන ලෙස රාජකීය මුද්‍රික පානය බොහෝ සෙයින් තිබිණි. කිසිවෙකුට බල නොකළ යුතු ය යනු බීම සම්බන්ධයෙන් වූ නියෝගය වේ. එකිනෙකාගේ කැමැත්ත පරිදි කරන ලෙස රජු තමාගේ මාලිගාවේ සියලු මුලාදෑනීන්ට නියම කර තිබුණේ ය. ඒ අතරතුර, වස්තී බිසව ද අහෂ්වේරොෂ් රජුට අයිති මාලිගාවේ දී ස්ත්‍රීන්ට මංගල්‍ය භෝජනයක් දුන්නා ය. සත් වන දා රජුගේ සිත මුද්‍රික පානයෙන් පිනාගිය විට, අහෂ්වේරොෂ් රජ තමාට සේවය කළ මෙහුමාන් ද බිශ්තා ද හර්බෝනා ද බිග්තා ද අබගතා ද සේතර් ද කර්කස් ද යන නපුංසකයන් සත් දෙනා කැඳවී ය. වස්තී බිසව ඉතා සුරූපී නිසා ඇගේ අලංකාරය සිය සෙනඟටත්, අධිපතීන්ටත් පෙන්වන පිණිස ඇගේ රාජකීය කිරීටය ද පළඳවාගෙන ඈ තමා ඉදිරිපිටට කැඳවාගෙන එන්නට රජ ඔවුන්ට අණ කෙළේ ය. එහෙත්, නපුංසකයන් අත රජු කියා යැවූ අණට කීකරු ව රජු වෙත එන්නට වස්තී බිසව අකමැති වූවා ය. එබැවින් රජ තෙමේ තදින් කිපිණි. ඔහු කෝපාග්නියෙන් දැවිණි.

මෙයට අදාළ වීඩියෝ

එස්තර් 1:1-12 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය