එපීස ‍ 5:23-30

එපීස ‍ 5:23-30 NRSV

මන්ද, ක්‍රිස්තුන් වහන්සේ සභාවේ, එනම් උන් වහන්සේගේ ශරීරයේ, හිස වන්නාක් මෙන්, පුරුෂයා භාර්යාවගේ හිස ය. උන් වහන්සේ එම ශරීරයේ ගැළවුම්කාරයාණෝ වන සේක. එබැවින් සභාව ක්‍රිස්තුන් වහන්සේට යටත් වන්නාක් මෙන්, භාර්යාවන් ද සියලු දේවල දී පුරුෂයන්ට යටත් විය යුතු ය. පුරුෂයෙනි, ක්‍රිස්තුන් වහන්සේ සභාවට ප්‍රේම කොට සභාව වෙනුවෙන් සිය දිවි පුද කළාක් මෙන්, ඔබත් ඔබගේ භාර්යාවන්ට ප්‍රේම කරන්න. උන් වහන්සේ එසේ කෙළේ, වචනය නමැති වතුරෙන් ද සභාව සෝදා පිරිසුදු කර, කැප කර, එය තේජාන්විත සභාවක් වශයෙන් කැළලක් වත්, රැල්ලක් වත්, එබඳු කිසිවක් වත් නැති ව විශුද්ධ ව, නිකෙලෙස් ව, තමන්ට ම ප්‍රදානය කරගැනීමට ය. එසේ ම පුරුෂයන් විසින් ද සිය භාර්යාවන්ට තම ශරීරයට මෙන් ප්‍රේම කටයුතු ය. සිය භාර්යාවට ප්‍රේම කරන තැනැත්තා තමාට ම ප්‍රේම කරගන්නේ ය. කවරකුවත් කිසි ම කලෙක තමාගේ ශරීරයට ද්වේෂ කරගෙන නැත. එසේ නොව, ඔහු එය පෝෂණය කරගෙන ආරක්ෂා කරයි. ක්‍රිස්තුන් වහන්සේ සභාව ගැන සලකන්නේත් එසේ ම ය. මන්ද, එය උන් වහන්සේගේ ශරීරය වන බැවිනි. අපි ඒ ශරීරයේ අවයවයෝ වෙමු.