දානියෙල් 6:1-13
දානියෙල් 6:1-13 NRSV
දාරියුස් රජතුමා තමාගේ මුළු රාජ්‍යය භාර ව සිටින පිණිස දිශාධිපතීන් එකසිය විසිදෙනෙකු පත් කිරීමට සතුටු විය. ඔහු ඔවුන්ට ඉහළින් ප්‍රධාන ඇමතිවරුන් තිදෙනෙකු ද පත් කෙළේ ය. මේ තිදෙනාට වගකීම පැවරී තිබුණේ ය. දාරියුස් මෙසේ කෙළේ ඔහුට කිසි හානියක් නොවන පිණිස ය. ඒ අමාත්‍යවරුන්ගෙන් එක් කෙනෙක් දානියෙල් විය. දානියෙල්ට ඇති පුදුම කුශලතා නිසා, ඔහු ඇමතිවරුන්ටත්, දිශාධිපතීන්ටත් වඩා උත්කෘෂ්ට බව පෙනී ගියේ ය. එබැවින් රජතුමා මුළු රාජ්‍යය පාලනය කිරීම පිණිස දානියෙල් පත් කරන්නට අදහස් කෙළේ ය. මෙයට අසතුටු වූ ඇමතිවරු හා දිශාධිපතිවරු දානියෙල්ගේ පාලනයේ යම් වරදක් සොයන්නට මාන බැලුවෝ ය. එහෙත්, එවැනි කිසි ම වරදක් ඔවුන්ට සොයාගත නොහැකි විය. මන්ද, ඔහු විශ්වාසවන්ත ව කටයුතු කෙළේ ය. ඔහුගේ කිසි වරදක් වත්, දෝෂයක් වත් නො වී ය. එවිට ඔව්හු, “දානියෙල්ට විරුද්ධ ව පැමිණිලි කරන පිණිස ඔහුගේ ආගම සම්බන්ධයෙන් යම් කරුණක් සොයා ගත්තොත් මිස, අන් කිසි කරුණක් අපට කිසි කලෙක සොයාගත නොහැකි ය”යි කී හ. එබැවින් ඇමතිවරු ද දිශාධිපතිවරු ද මෙසේ කී හ: “රජතුමනි, චිරාත් කාලයක් වැජඹෙත් වා! ඔබේ රාජ්‍යයේ සියලු අමාත්‍යයෝ ද අධිපතිවරු ද මන්ත්‍රීවරු ද ආණ්ඩුකාරයෝ ද වන අපි ඉදිරිපත් කරන රාජඥාව පනවා එය ක්‍රියාත්මක කරන ලෙස ඔබෙන් ඉල්ලීමට ඒකමතික ව තීරණය කරගනිමු. එනම්, ‘තිස් දවසක් ඇතුළත දී යම් කෙනෙකු රජතුමාගෙන් මිස, අන් දෙවි කෙනෙකුගෙන් වත්, මනුෂ්‍යයෙකුගෙන් වත් කිසියම් අයැදුමක් කළොත්, ඔහු සිංහ ගුහාවේ හෙළනු ලැබේ ය’ කියා ය. ඉතින් රජතුමනි, මේදවරුන්ගේ ද පර්සිවරුන්ගේ ද වෙනස් නොකළ හැකි ව්‍යවස්ථාවේ ප්‍රකාරයට මේ ආඥා පත්‍රය ද වෙනස් නොකළ හැකි වන ලෙස එය ස්ථිර කර අත්සන් කළ මැනව.” දාරියුස් රජ ඒ ආඥා පත්‍රය අත්සන් කෙළේ ය. රාජාඥාව පනවා ඇති බව දානියෙල්ට ආරංචි වූ විට, ඔහු ගෙදර ගොස්, උඩුමහල් මැදුරේ කවුළු ජෙරුසලම දෙසට ඇරී තිබිය දී, පුරුදු පරිදි දිනකට තුන් වරක් දණින් වැටී, තමාගේ දෙවියන් වහන්සේ ඉදිරියෙහි යාච්ඤා කොට ස්තූති පුද කෙළේ ය. දානියෙල් වරදකට අසු කිරීමට බලා සිටි විරුද්ධකාරයෝ පැමිණ, දානියෙල් තමාගේ දෙවියන් වහන්සේ ඉදිරියේ යාච්ඤා හා කන්නලව් කරනු දුටුවෝ ය. එවිට ඔව්හු රජ්ජුරුවන් ඉදිරියට පැමිණ රාජාඥාව මතක් කර, “රජතුමනි, තිස් දවසක් ඇතුළත දී යම් කෙනෙකු ඔබතුමාගෙන් මිස, අන් දෙවි කෙනෙකුගෙන් වත්, මනුෂ්‍යයෙකුගෙන් වත් කිසියම් අයැදුමක් කළොත්, ඔහු සිංහ ගුහාවට හෙළිය යුතු ය කියා ඔබතුමා ආඥා පත්‍රයක් අත්සන් කළා නොවේ දැ”යි ඇසූ හ. “එය එසේ ම යි; වෙනස් නොකළ හැකි මේදවරුන්ගේ ද පර්සිවරුන්ගේ ද ව්‍යවස්ථාව අනුව එය ස්ථිර ය”යි රජතුමා පිළිතුරු දුන්නේ ය. එවිට ඔව්හු රජ්ජුරුවන් ඉදිරියෙහි පිළිතුරු දෙමින්, “රජතුමා ජුදා රටින් අල්ලගනු ලැබූ අයගෙන් එක් කෙනෙකු වන දානියෙල්, ඔබ හා ඔබතුමා අත්සන් කළ ආඥාව නොසලකා, දවසකට තුන් වරක් තමාගේ දෙවියන්ට අයැදුම් කරයි” යයි කී හ.

