දානියෙල් 4:5-18

දානියෙල් 4:5-18 NRSV

එසේ සිටිය දී මා තැති ගැන්වූ ස්වප්නයක් දුටුවෙමි. මා යහනේ සිටිය දී මට ඇති වූ සිතිවිලි හා හිසට නැඟුණු දර්ශන මා බිය ගැන්වී ය. ස්වප්නයේ තේරුම මට දන්වන පිණිස බබිලෝනියේ සියලු ශාස්ත්‍රවන්තයන් මා ඉදිරියට පමුණුවන හැටියට මම අණ කෙළෙමි. එවිට මන්ත්‍රකාරයෝ ද අනවිනකාරයෝ ද දෛවඥයෝ ද පේන කියන්නෝ ද මා වෙත ආවෝ ය. මම ඔවුන් ඉදිරියේ මා දුටු ස්වප්නය කීවෙමි. එහෙත්, ඔවුන්ට එහි තේරුම මට කියා දෙන්නට නොහැකි විය. අන්තිමේ දී මාගේ දෙවියන්ගේ නාමය අනුව ‘බෙල්ටෙෂෙසර්’ කියා නම් කරන ලද දේවාත්මානුභාවය ඇති දානියෙල් මා ඉදිරියට ආවේ ය. දුටු ස්වප්නය මම ඔහුට කීවෙමි: මන්ත්‍රකාරයන්ගේ ප්‍රධානියා වන බෙල්ටෙෂෙසර්, ඔබට දේවාත්මානුභාවය ඇති බවත් කිසි අබිරහසක් විසඳීම ඔබට දුෂ්කර කාර්යයක් නොවන බවත් මම දනිමි. මා දුටු ස්වප්නය මෙය වේ. එහි තේරුම මට පහදා දෙන්න. “මා යහනේ සිටිය දී මාගේ හිසට නැඟුණු දර්ශනය මෙය වේ. ඉතා උස ගහක් පොළොව මැද තිබෙනු මම දිටිමි. ඒ ගස වැවී ශක්තිමත් වී, කරටිය අහසේ උසට යන තෙක් වැඩුණේ ය. පොළොවේ සතර දිග් භාගයට ඒ ගස පෙනුණේ ය. එහි අතු සහ කොළ ශෝභන ය. පල බහුල ය. සියල්ලන්ට සෑහෙන පමණ කෑම එහි තිබුණේ ය. වන මෘගයෝ ගස යට සෙවණ ලැබුවෝ ය. අහසේ කුරුල්ලෝ අතුවල ලැගුම් ගත්තෝ ය. සියලු සත්ත්වයන්ට එයින් කෑම ලැබුණේ ය. “මා එසේ දර්ශනය දකිමින් යහනේ සිටිය දී තවදුරටත් මෙසේ දිටිමි. ස්වර්ගයෙන් ශුද්ධ මුරකාරයෙක් බැස ආයේ ය. ඔහු මහ හඬින් මොරගසා මෙසේ කී ය: ‘ගස සිඳ දමන්න, අතු කපා දමන්න, කොළ සූරා දමන්න, පල විසුරුවා දමන්න, වන මෘගයන් ගසේ සෙවණ යටින් ද කුරුල්ලන් අතුවලින් ද පලවා හරින්න. එහෙත්, ගසේ මුලේ කඳ කෑල්ල ඉතුරු කර, එයට යකඩ හා ලෝකඩ වළල්ලක් දමා පොළොවේ ලා තණ අතරේ එය තිබෙන්නට අරින්න. මේ මිනිහා අහසේ පිනිවලින් තෙමේ වා; මෘගයන් සමඟ තණ කොළ කෑවා වේ. ඔහුගේ සිත මිනිස් සිතක් නොවන ලෙස වෙනස් වී මෘග සිතක් ඔහුට ලැබී, ඒ අයුරින් අවුරුදු සතක් ගතවුණා වේ. මේ තීරණය මුරකාරයන්ගේ නියමයක් වන්නකි; මේ තීන්දුව ශුද්ධ තැනැත්තන්ගෙන් වන ප්‍රකාශනයකි. මෙසේ වන්නේ මනුෂ්‍යයන්ගේ රාජ්‍යය මහෝත්තමයාණන් පාලනය කරන බවත්, තමන් කැමැති කෙනෙකුට උන් වහන්සේ එය දෙන බවත්, මිනිසුන්ගෙන් ඉතා පහත් කෙනෙකුට වුව ද එහි පාලනය භාර දෙන බවත් ජීවත් ව සිටින අය දැනගන්න පිණිස ය. “මේ ස්වප්නය, නෙබුකද්නෙශර් රජු වන මම දිටිමි. එම්බා බෙල්ටෙෂෙසර්, එහි තේරුම මට දන්වන්න. මන්ද, මාගේ රාජ්‍යයේ සිටින සියලු ශාස්ත්‍රවන්තයන්ගෙන් එක් කෙනෙකුට වත් එය නොකළ හැකි විය. එහෙත්, දේවාත්මානුභාවය ඔබට ඇති බැවින් ඔබට නම් එය කළ හැකි ය.”