දානියෙල් 1:1-9
දානියෙල් 1:1-9 NRSV
ජුදාහි රජ වූ ජෙහෝයාකිම්ගේ රාජ්‍ය කාලයෙහි තුන් වන අවුරුද්දේ දී බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර් රජ ජෙරුසලම ආක්‍රමණය කොට එය වටලාගත්තේ ය. සමිඳාණන් වහන්සේ ඔහුගේ අතට ජුදාවේ රජ වූ ජෙහෝයාකිම් පාවා දුන් සේක; ඔහු සමඟ දෙවියන් වහන්සේගේ මාලිගාවේ බඩු බාහිරාදිය සමහරක් ද පාවා දුන් සේක. නෙබුකද්නෙශර් ඒ බඩු බාහිරාදිය ශීනාර් දේශයේ තමාගේ ම දෙවියන්ගේ දේවාලයට ගෙන ගොස් දේවාල භාණ්ඩාගාරයේ ඒවා තැන්පත් කෙළේ ය. රජතුමා අශ්පෙනස් නම් තමාගේ ප්‍රධාන නපුංසකයා අමතා, ඉශ්රායෙල් සෙනඟ අතරෙන් රාජ වංශයට හා රදළ පෙළපතට අයත් තරුණයන් ස්වල්ප දෙනෙකු ගෙනෙන්නට ඔහුට නියම කෙළේ ය. ඔවුන් ශරීරාබාධ නැති, ශෝභා සම්පන්න, සිප්සතරෙහි සමත්, බොහෝ ඇසූ පිරූ තැන් ඇති, විචක්ෂණ, රාජ මාලිගාවේ සේවා කරන්නට සුදුසුකම් ඇති, අය විය යුතු යයි ද ඔවුන් ගෙනා පසු, කල්දිවරුන්ගේ භාෂාවත් සාහිත්‍යයත් ඔවුන්ට ඉගැන්විය යුතු යයි ද රජතුමා අශ්පෙනස්ට නියම කෙළේ ය. රජ තෙමේ තමා වළඳන භෝජනවලින් ද තමා පානය කරන මිදියුසින් ද කොටසක් දවස් පතා ඔවුන්ට දෙන්නටත් නියම කෙළේ ය. ඔවුන් තුන් අවුරුද්දක් පුහුණුව ලැබූ පසු රාජ සේවයට ඇතුළත් කළ යුතු ව තිබිණි. තෝරාගනු ලැබූ අය දානියෙල් ද හනනියා ද මිෂායෙල් ද අසරියා ද යන නම් ඇති ජුදා ජාතික තරුණයෝ වූ හ. එහෙත්, ප්‍රධාන නපුංසකයා ඔවුන්ට වෙනත් නම් දුන්නේ ය; දානියෙල්ට බෙල්ටෙෂෙසර් කියා ද හනනියාට ෂද්‍රක් කියා ද මිෂායෙල්ට මේෂක් කියා ද අසරියාට අබෙද්නෙගෝ කියා ද නම් තැබුවේ ය. දානියෙල් තෙමේ රජුගේ භෝජනයෙන් වත්, ඔහු බොන මිදියුසෙන් වත් තමා අපවිත්‍ර නොවී සිටින පිණිස අධිෂ්ඨාන කරගෙන, එසේ අපවිත්‍ර නොවී සිටීමට ප්‍රධාන නපුංසකයාගෙන් අවසර අයැද සිටියේ ය. දෙවියන් වහන්සේ දානියෙල්ට ප්‍රධාන නපුංසකයාගෙන් කරුණාවත්, අනුකම්පාවත් ලැබෙන්නට සැලැස්සූ සේක.

