කොලොස්සි 2:8-19

කොලොස්සි 2:8-19 NRSV

ක්‍රිස්තුන් වහන්සේගෙන් නොවන, මිනිස් සම්ප්‍රදායයන් හා ලෝක භූතාධිපතීන් පදනම්කොටගත් දර්ශනවාදවලින් හා සම්ප්‍රලාපවලින් උගුල් අටවන අයගෙන් පරිස්සම් වන්න. මන්ද, ක්‍රිස්තුන් වහන්සේ තුළ, උන් වහන්සේගේ මිනිස් බවෙහි ම දේවත්වයේ පරිපූර්ණතාව වැඩ වාසය කරයි. සකල භූතාධිපතීන්ට හා බලධාරීන්ට ඉහළින් පරමෝත්තම වන උන් වහන්සේ හා ඒකාබද්ධ වීමෙන් ඔබේ පූර්ණත්වය සැලසී ඇත. උන් වහන්සේ හා ඒකාබද්ධ වීමෙන් ඔබ චර්මඡේදනය කරනු ලැබුවහු ය. ඒ වනාහි සැත්කමකින් කරන ලද චර්මඡේදනයක් නොව, මාංසික ක්ලේශයන් ඉවත් කිරීමේ චර්මඡේදනයකි. ක්‍රිස්තුන් වහන්සේගේ චර්මඡේදන පිළිවෙත එය යි. මන්ද, බව්තීස්ම-ස්නාපනයේ දී ඔබ උන් වහන්සේ සමඟ වළලනු ලැබ, උන් වහන්සේ මරණයෙන් උත්ථාන කළ දෙවියන් වහන්සේගේ ක්‍රියාකාරී බලය තුළ ඇති විශ්වාසය කරණකොටගෙන ක්‍රිස්තුන් වහන්සේ සමඟ උත්ථාන කරනු ලැබුවහු ය. ඔබ පව්කාරයන් නිසාත්, අචර්මඡේදිතයන් වූ නිසාත් මැරී සිටි නමුත්, දෙවියන් වහන්සේ ඔබ ක්‍රිස්තුන් වහන්සේ සමඟ ජීවත් කර ඔබේ සියලු පව් කමා කළ සේක. අණපණත්වලට අප බැඳ තැබූ අපට අහිතකර ඇපකරය උන් වහන්සේ අවලංගු කළ සේක. එය කුරුසියේ ඇණ ගසා අපෙන් ඉවත් කළ සේක. මෙලෙස උන් වහන්සේ භූතාධිපතීන් ද බලධාරීන් ද නිරායුධ කොට ඔවුන් ප්‍රසිද්ධියේ ජය පෙරහරින් ගෙන ගොස් ප්‍රදර්ශනය කළ සේක. එබැවින් කෑම ගැන වත්, බීම ගැන වත්, මංගල දවසක් ගැන වත්, අමාවක දවසක් ගැන වත්, සබත් දවස් ගැන වත් ඔබ විනිශ්චය කරන්නට කිසිවෙකුට ඉඩ නොදෙන්න. ඒවා පැමිණෙන්නට තිබුණු දේවල ඡායාවක් පමණි. ඒ දේවල යථා තත්ත්වය ක්‍රිස්තුන් වහන්සේ ය. තපස් රැකීම නිසා හෝ දේවදූත වන්දනා මාන නිසා හෝ විශේෂ දර්ශන නිසා හෝ උඩඟු වූ කිසිවෙකුට, ඔබට හිමි තැනින් ඔබ පහ කිරීමට ඉඩ නොදෙන්න. එබඳු අය කෙලෙස් සිතින් බැඳී පුහු අභිමානයෙන් උද්දාම වී සිටිති. ඔව්හු සභාවේ හිස වන ක්‍රිස්තුන් වහන්සේට සම්බන්ධ නොවෙති. එහෙත් ඇට කටු හා නහරවලින් ශරීරය ඒකාබද්ධ කොට, පෝෂණය කර, දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව එය වර්ධනය වන්නට සලසන්නේ ඒ හිස ය.

කොලොස්සි 2:8-19 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය