ක්‍රියා 9:17-22

ක්‍රියා 9:17-22 NRSV

අනනියස් පිටත් ව ගොස් ගෙට ඇතුළු වී, ඔහු පිට අත් තබා, “සහෝදර සාවුල්, ඔබට පෙනීම ලැබෙන පිණිස ද ඔබ ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ කරනු ලබන පිණිස ද සමිඳාණන් වහන්සේ, එනම්, ඔබ ගමන් කළ මාර්ගයේ දී ඔබට දර්ශනය වූ ජේසුස් වහන්සේ, මා එවූ සේකැ”යි කී ය. එකෙණෙහි ම ඔහුගේ ඇස්වලින් කොරපොතු වැන්නක් වැටී ඔහු පෙනීම ලැබී ය; ඔහු නැඟිට බව්තීස්ම-ස්නාපනය කරනු ලැබ, කෑම කා යළිත් ශක්තිය ලැබී ය. සාවුල් දමස්කයේ ශ්‍රාවකයන් සමඟ කීප දවසක් නතර ව සිටියේ ය. ඔහු නොපමා ව ජේසුස් වහන්සේ ගැන ධර්මශාලාවල දී දේශනා කරමින්, “උන් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා ය”යි ප්‍රකාශ කෙළේ ය. ඒ ඇසූ සියල්ලෝ අතිශයින් මවිත ව, “මෙම නාමයෙන් යාච්ඤා කරන්නන් ජෙරුසලමේ දී වනසා දැමූ තැනැත්තා මොහු නොවේ ද? මොහු මෙහි ආයේත් ඔවුන් අත්අඩංගුවට ගෙන නායක පූජකයන් ඉදිරියට ගෙන යන අදහසින් නොවේ දැ”යි කී හ. එහෙත් සාවුල් වඩ වඩා බලසම්පන්න ව, ඒ ජේසුස් වහන්සේ, ක්‍රිස්තුන් වහන්සේ ම යයි ඔප්පු කරමින්, දමස්කයෙහි විසූ ජුදෙව්වරුන් නිරුත්තර කෙළේ ය.