ක්‍රියා 9:1-17

ක්‍රියා 9:1-17 NRSV

එකල සාවුල් තවදුරටත් ස්වාමීන් වහන්සේගේ ශ්‍රාවකයන් මරාදමන පිණිස ඔවුන්ට විරුද්ධ ව තර්ජනය කරමින් සිටියේ ය. ඔහු උත්තම පූජකයා වෙත ගොස්, ඒ ඇදහිල්ලට අයත් පුරුෂයන් හෝ ස්ත්‍රීන් හෝ සම්බ වුණොත්, ඔවුන් අල්ලා ජෙරුසලමට ගෙන එන පිණිස, දමස්කයේ ධර්මශාලාවට ඉදිරිපත් කිරීම සඳහා ඔහුගෙන් බලපත්‍ර ඉල්ලාගත්තේ ය. මෙසේ ඔහු ගමන් කරමින් දමස්කයට ළං වූ කල, හදිසියෙන් අහසින් ආලෝකයක් ඔහු අවට බැබළිණි. ඔහු භ්‍රාන්ත වී බිම වැටුණේ ය. එවිට: “සාවුල්, සාවුල්, ඔබ මට පීඩා කරන්නේ මන්දැ”යි කියන හඬක් ඔහුට ඇසිණි. “ස්වාමීනි, ඔබ කවරෙක් දැ”යි ඔහු ඇසී ය. “මම ඔබ විසින් පීඩා කරනු ලබන ජේසුස් ය. නැඟිට නුවරට ඇතුළු වන්න, ඔබ කළයුතු දේ ඔබට කියනු ලබන්නේ ය”යි ඒ හඬ පැවසී ය. ඔහු සමඟ ගමන් කළ මිනිසුන්ට ඒ හඬ ඇසුණ නමුත්, ඔව්හු කිසිවෙකු නොදැක තුෂ්ණීම්භූත ව සිටියෝ ය. සාවුල් නැඟිට ඇස් ඇරිය කල, ඔහුට කිසිවක් පෙනුණේ නැත. ඔව්හු ඔහු අතින් අල්ලාගෙන දමස්කයට ගෙන ගියහ. ඔහු තුන් දවසක් ඇස් නොපෙනී, නොකා නොබී සිටියේ ය. දමස්කයෙහි අනනියස් නම් එක්තරා ශ්‍රාවකයෙක් සිටියේ ය. සමිඳාණන් වහන්සේ ඔහුට දර්ශනය වී, “අනනියස්”, කියා ඔහු ඇමතූ සේක. “ස්වාමීනි, මම මෙහි ය”යි ඔහු කී ය. සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, “නැඟිට, කෙළින් නම් වූ වීදියට ගොස්, තාර්සස්හි වැසියෙකු වූ සාවුල් නම් කෙනෙකු ගැන ජූදස්ගේ ගෙදරින් විමසන්න. ඔහු යාච්ඤා කරමින් සිටියි. තමාට පෙනීම ලැබෙන පිණිස අනනියස් නම් මිනිසෙකු පැමිණ තමා පිට අත් තබනු ඔහුට දර්ශනය වී ය”යි වදාළ සේක. එහෙත් අනනියස් උත්තර දෙමින්, “ස්වාමීනි, මේ මනුෂ්‍යයා ජෙරුසලමේ දී ඔබගේ ශුද්ධවරයන්ට කොපමණ හිංසා පීඩා කෙළේ දැ යි බොහෝ දෙනෙකුගෙන් ඇසීමි. මෙහිදීත් ඔබගේ නාමයට යාච්ඤා කරන සියල්ලන් අත්අඩංගුවට ගන්නට ඔහු නායක පූජකයන්ගෙන් බලය ලැබ සිටී ය”යි කී ය. එහෙත් සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, “යන්න, මන්ද, ඔහු මාගේ නාමය විජාතීන් ද රජුන් ද ඉශ්රායෙල් පුත්‍රයන් ද වෙත ගෙනයාමට මා විසින් තෝරාගත් භාජනයකි. ඔහු මාගේ නාමය නිසා කොපමණ දුක් විඳින්න ඕනෑ ද කියා ඔහුට දක්වන්නෙමි”යි වදාළ සේක. අනනියස් පිටත් ව ගොස් ගෙට ඇතුළු වී, ඔහු පිට අත් තබා, “සහෝදර සාවුල්, ඔබට පෙනීම ලැබෙන පිණිස ද ඔබ ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ කරනු ලබන පිණිස ද සමිඳාණන් වහන්සේ, එනම්, ඔබ ගමන් කළ මාර්ගයේ දී ඔබට දර්ශනය වූ ජේසුස් වහන්සේ, මා එවූ සේකැ”යි කී ය.