ක්‍රියා 7:1-29

ක්‍රියා 7:1-29 NRSV

එවිට උත්තම පූජකයා, “මේ ඇත්ත දැ”යි ඇසී ය. ස්තේපන් මෙසේ පිළිතුරු දුනි: “සහෝදරවරුනි, පියවරුනි, සවන් දෙන්න. අපගේ පිය වූ ආබ්‍රහම් හාරාන්හි පදිංචි වන්නට පෙර මෙසොපොතේමියාවේ සිටි කාලයෙහි, මහිමාන්විත දෙවියන් වහන්සේ ඔහුට පෙනී, ‘ඔබේ රටින් ද ඥාතීන්ගෙන් ද වෙන් වී මා ඔබට පෙන්වන දේශයට එන්නැ’යි වදාළ සේක. එවිට ඔහු කල්දීයයන්ගේ දේශයෙන් නික්ම ගොස් හාරාන්හි පදිංචි විය. ඔහුගේ පියාගේ ඇවෑමෙන් දෙවියන් වහන්සේ ඔහු එතැනින් ඉවත් කොට ඔබ දැන් වසන මේ දේශයට ගෙනා සේක; එහි අඩියක් පමණ වත් උරුමයක් ඔහුට නුදුන් සේක. එහෙත්, එවකට ඔහුට දරුවෙකු නොසිටි නමුත්, මේ දේශය ඔහුට ද ඔහුගේ දරු පරම්පරාවට ද උරුම කර දීමට පොරොන්දු වූ සේක. දෙවියන් වහන්සේ වදාළ දේ නම් මේ ය: ‘ඔහුගේ දරු පරම්පරාව අන්‍ය දේශයක ආගන්තුකයන් ව සිටිනවා ඇත. ඒ දේශවාසීන් ඔවුන් වහල්කමට ගෙන අවුරුදු හාර සියයක් මුළුල්ලේ ඔවුන්ට පීඩා කරනු ඇත. ඔව්හු යම් ජාතියකට වහල් වෙත් ද, මම ඒ ජාතිය විනිශ්චයට පමුණුවමි; ඉන්පසු ඔව්හු පිටත් ව අවුත් මේ ස්ථානයෙහි මට නමස්කාර කරති.’ තවද, උන් වහන්සේ ගිවිසුමේ ලකුණක් වශයෙන් චර්මඡේදනය ඔහුට දුන් සේක. මෙසේ ආබ්‍රහම්ට දාව ඊසාක් ද උපන්නේ ය. ආබ්‍රහම් අට වන දා ඔහු චර්මඡේදනය කෙළේ ය. ඊසාක්ට දාව ජාකොබ් ද, ජාකොබ්ට දාව කුලපතියෝ දොළොස් දෙනා ද උපන්හ. ඔව්හු සියල්ලෝ චර්මඡේදනය කරනු ලැබූ හ. “ඒ කුලපතියෝ ජෝසෙප්ට ඊර්ෂ්‍යා කොට ඔහු මිසරයෙහි වහල්කමට විකුණූ හ. එහෙත් දෙවියන් වහන්සේ ඔහු සමඟ සිට, සියලු දුක්වලින් ඔහු මුදා, මිසරයේ රජ වූ පාරාවෝ ඉදිරියෙහි වරප්‍රසාදයත් ප්‍රඥාවත් ඔහුට දුන් සේක. පාරාවෝ තෙමේ මිසරයට ද තමාගේ මුළු රජ ගෙදරට ද, පාලකයා ලෙස ඔහු පත් කෙළේ ය. එකල මුළු මිසර දේශයෙහි ද කානාන්හි ද සාගතයක් ඇති වූයෙන් මහත් විපත්තියක් ඇති විය. අපගේ පියවරුන්ට කිසි ආහාරයක් නොමැති විය. එහෙත් මිසරයෙහි ධාන්‍ය ඇති බව ජාකොබ් අසා, පළමු වරට අපේ පියවරුන් එහි යැවී ය. දෙ වන වාරයේ දී ජෝසෙප් තම සහෝදරයන්ට හඳුන්වා දෙනු ලැබී ය. පාරාවෝට ද ජෝසෙප්ගේ වංශය හෙළි විය. එකල ජෝසෙප් තම පිය වූ ජාකොබ් ද හැත්තෑපස්දෙනෙකුගෙන් යුත් ඔහුගේ සියලු ඥාතීන් ද කැඳවා යැවී ය. ජාකොබ් මිසරයට ගියේ ය. එහි දී ඔහු ද අපගේ පියවරු ද මියගියහ. ඔව්හු ෂෙකෙම් නුවරට ගෙන යන ලදුව, ෂෙකෙම්හි හේමොර්ගේ පුත්‍රයන්ගෙන් ආබ්‍රහම් රිදී මිල ගණනකට ගත් සොහොන් ගෙය තුළ තැන්පත් කරනු ලැබූ හ. “දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට දුන් පොරොන්දුව ඉටු කිරීමේ කාලය ළංවෙත් ම, අපේ ජනයා මිසරයෙහි වැඩී වර්ධනය වූ හ. එකල ජෝසෙප් ගැන නොදත් අන් රජෙක් මිසරයේ රජකමට පත් විය. ඔහු අප ජාතියට විරුද්ධ ව යටිඋගුල් අටවා, අපගේ ළදරුවන් මැරී යන ලෙස පිටතට දමන්නට අපගේ පියවරුන්ට බල කෙළේ ය. මෝසෙස් උපන්නේ මේ කාලයේ දී ය. ඔහු දෙවියන් වහන්සේට ප්‍රිය වූ සුන්දර දරුවෙක් විය. ඔහු ස්වකීය පියාගේ ගෙදර තුන් මසක් ඇතිදැඩි කරනු ලැබී ය. ඉන්පසු ඔහු ඉවත දමනු ලැබූ කල පාරාවෝගේ දුව ඔහු රැගෙන, ඇගේ ම පුත්‍රයා මෙන් ඇතිදැඩි කරගත්තා ය. මෝසෙස් මිසරයන්ගේ සකල සිප්සතරෙහි පුහුණු කරනු ලැබ, කතාවෙහි ද ක්‍රියාවෙහි ද දක්ෂපක්ෂ තැනැත්තෙක් විය. “මෝසෙස්ට සතළිස් වසක් පමණ වූ විට, ඉශ්රායෙල් පුත්‍රයන් වන තම නෑදෑ පිරිස බලන්නට යාමට ඔහුගේ සිතේ අදහසක් ඇති විය. ඉශ්රායෙල්වරුන්ගෙන් කෙනෙකුට අයුක්තියක් කරනු දැක, ඔහුට පක්ෂ ව, මිසරයාට පහර දී, පීඩා කරනු ලැබූ තැනැත්තාට යුක්තිය ඉටු කෙළේ ය. දෙවියන් වහන්සේ ඔහු අතින් ඔහුගේ නෑදෑ පිරිසට විමුක්තිය සලසා දෙන බව ඔවුන් තේරුම්ගෙන ඇතැ යි ඔහු සිතී ය. එහෙත් ඔව්හු එය තේරුම් නොගත්හ. පසුවදා ඉශ්රායෙල්වරුන් දෙදෙනෙකු දබර කරනු දැක, ඔවුන් සමඟි කිරීමේ අදහසින් ඉදිරිපත් වී, ‘මිත්‍රවරුනි, ඔබ සහෝදරයෝ ය; එකිනෙකාට අයුතුකම් කරන්නේ මන්දැ’යි ඇසී ය. එහෙත් අසල්වැසියාට අයුතුකම් කරමින් සිටි මිනිසා මෝසෙස් තල්ලු කර දමා, ‘අප කෙරෙහි අධිපතියෙකු ද විනිශ්චයකාරයෙකු ද කර ඔබ පත් කෙළේ කවරෙක් ද? ඔබ ඊයේ මිසරයා මැරූ ලෙස, මාත් මරන්නට හදනවා දැ’යි කී ය. ඒ කීම නිසා මෝසෙස් පලා ගොස්, මිදියන් දේශයෙහි ආගන්තුක ව විසී ය. එහි දී ඔහුට පුත්‍රයෝ දෙදෙනෙක් උපන්හ.