ක්‍රියා 4:1-12

ක්‍රියා 4:1-12 NRSV

පේදුරු තුමා සහ ජොහන් තුමා සෙනඟට කතා කරමින් සිටිය දී, පූජකයෝ ද දේව මාලිගාවේ මුර සෙබළුන්ගේ ප්‍රධානියා ද සද්දුසිවරු ද ඔවුන් අබිමුවට කඩා වැදුණාහ. ඔවුන් සෙනඟට අනුශාසනා කළ නිසා ද ජේසුස් වහන්සේගේ උත්ථානය මඟින් පුනරුජ්ජීවනය ඇති වන බව ප්‍රකාශ කළ නිසා ද ඔව්හු අතිශයෙන් උදහස් වූ හ. ඔව්හු ඔවුන් අත්අඩංගුවට ගෙන, සවස් වී තිබුණු බැවින්, පසු දා වන තුරු හිර අඩස්සියේ තැබූ හ. එහෙත් පණිවුඩය ඇසූ බොහෝ දෙනෙක් අදහාගත්හ. ඒ පිරිමින්ගේ ගණන පන්දහසක් පමණ විය. පසුවදා ඔවුන්ගේ ප්‍රධානීහු ද ප්‍රජා මූලිකයෝ ද විනයධරයෝ ද යන මොවුහු, උත්තම පූජක අන්නස් ද කායාපස් ද ජොහන් ද අලෙක්සන්දර් ද ඇතුළු උත්තම පූජක පරපුරට අයිති සියලු දෙනා ද සමඟ ජෙරුසලමේ රැස් වූ හ. ඔව්හු ප්‍රේරිතවරුන් දෙදෙනා සභාව මැද සිටුවා, “ඔබ කුමන බලයකින්, කවරෙකුගේ නාමයෙන් මෙය කළහු දැ”යි විචාළහ. එවිට පේදුරු ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ ව ඔවුන් අමතා මෙසේ කී ය: “ප්‍රධානියෙනි, ප්‍රජා මූලිකයෙනි, කොර මිනිසෙකුට කරන ලද කාරුණික ක්‍රියාව ගැන හා ඔහු සුවපත් කරන ලද්දේ කෙසේ ද යන්න ගැන හා අද අපි විමසනු ලබමු නම්, එයට අපේ පිළිතුර මෙසේ ය: ඔබ විසින් කුරුසියේ ඇණ ගසන ලද්දා වූ ද දෙවියන් වහන්සේ විසින් උත්ථාන කරන ලද්දා වූ ද නාසරෙත්හි ජේසුස් වහන්සේගේ අනුහසින් ඔබ ඉදිරියේ මේ මිනිසා සුව සම්පන්න ව සිටියි. ඒ බව ඔබ සියලු දෙනාත්, මුළු ඉශ්රායෙල් ජනයාත් දැන ගනිත් වා. උන් වහන්සේ වනාහි ‘ගෘහ ශිල්පීන් වන ඔබ විසින් ප්‍රතික්ෂේප කරන ලද ගල ය. එහෙත් උන් වහන්සේ ම ප්‍රධාන ගල වූ සේක.’ අන් කිසිවෙකු මඟින් ගැළවීමක් නැත; මන්ද, අපේ ගැළවීම සලසා දෙන ලද අන් කිසි නාමයක් මුළු ලොවෙහි ම මිනිසුන් අතර නැත.”