ක්‍රියා 24:17-27

ක්‍රියා 24:17-27 NRSV

“අවුරුදු කීපයකට පසු මාගේ සෙනඟට සම්මාදම් බාර දී පූජා පවත්වනු සඳහා මෙහි ආවෙමි. මේ සම්බන්ධයෙන් ඔවුන් දේව මාලිගාවේ දී මා දුටුවේ මා පවිත්‍ර කිරීමේ පිළිවෙත ඉටු කළායින් පසුව ය. එහි මා සමඟ සෙනඟක් සිටියේ නැත; කලබලයක් ද නොතිබිණි. එහෙත් ආසියාවෙන් පැමිණි සමහර ජුදෙව්වරු එහි සිටියෝ ය. මට විරුද්ධ ව යමක් තිබුණා නම්, මට දෝෂාරෝපණය කරන පිණිස මෙහි ඔබ ඉදිරියට ඒම ඔවුන්ගේ යුතුකම ය. නැතහොත්, මා මන්ත්‍රණ සභාව ඉදිරියේ කුමන අපරාධයක් කෙළේ දැ යි මෙහි සිටින මොවුහු කියත් වා. ඔවුන් ඉදිරියේ මා කියා ඇත්තේ එක ම එක දෙයයි. එනම්, ‘මළවුන්ගේ උත්ථාන වීම මා අදහන නිසා අද ඔබ විසින් විනිශ්චය කරනු ලබමි’ “යි යනු යි. එහෙත් ෆීලික්ස් ඒ ධර්ම මාර්ගය ගැන කාරණා මැනවින් දැන සිටි බැවින්, “ලිසියස් නම් සේනාධිපතියා ආ කල ඔබගේ නඩුව තීන්දු කරන්නෙමි”යි කියා නඩුව කල් දැමී ය. තවද පාවුලු රැකවලෙහි තබන්නටත් ඔහුට තරමක නිදහසක් දෙන්නටත්, ඔහුගේ මිත්‍රයන් ඔහුට උපස්ථාන කිරීම තහනම් නොකරන්නටත් ශතාධිපතියාට ඔහු අණ කෙළේ ය. කීප දවසකට පසු ෆීලික්ස් ජුදෙව් ස්ත්‍රියක වූ ඩෘසිල්ලා නම් තම භාර්යාව සමඟ අවුත් පාවුලු ගෙන්වා, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ කෙරෙහි ඇති ඇදහිල්ල ගැන ඔහු කතා කරනු ඇසී ය. පාවුලු, සුචරිතය ගැන ද ආත්ම දමනය ගැන ද මතු පැමිණෙන විනිශ්චය ගැන ද කතා කරද්දී ෆීලික්ස් බියපත් ව, “දැනට යන්න, මට ඉඩ ප්‍රස්ථාවක් ලැබුණු විට ඔබ නැවත කැඳවන්නෙමි”යි කී ය. ඒ ඇරත් තමාට පාවුලු මුදල් දෙනවා ඇතැ යි ඔහු බලාපොරොත්තුවෙන් සිටියේ ය. ඒ නිසා පාවුලු නැවත නැවත කැඳවා ඔහු සමඟ කතා කෙළේ ය. එහෙත් දෑවුරුද්දක් ගත වූ පසු, ෆීලික්ස්ගේ නිලයට පොර්කියුස් ෆෙස්තුස් පත් කරන ලදී. ෆීලික්ස් වනාහි ජුදෙව්වරුන් සතුටු කරන්නට කැමැති ව, පාවුලු හිරබාරයෙහි තබා ගියේ ය.