ක්‍රියා 20:1-12

ක්‍රියා 20:1-12 NRSV

කෝලාහලය සංසිඳුන පසු පාවුලු ශ්‍රාවකයන් කැඳවා ඔවුන් ධෛර්යවත් කොට, ඔවුන්ගෙන් සමුගෙන මසිදෝනිය බලා නික්ම ගියේ ය. ඔහු ඒ පළාත් මැදින් ගොස්, ඔවුන් බොහෝ සේ ධෛර්යවත් කොට, ග්‍රීසියට පැමිණියේ ය. ඔහු එහි තුන් මසක් ගත කොට, නැවෙන් සිරියාවට යන්නට සූදානම් ව සිටිය දී, ඔහුට විරුද්ධ ව ජුදෙව්වරුන් විසින් කූට උපායයක් යොදන ලදී. එහෙයින් මසිදෝනිය ඔස්සේ හැරී යන්නට ඔහු නියම කරගත්තේ ය. පුරස්ගේ පුත්‍ර වූ බෙරියාවේ සෝපතර් ද තෙසලෝනිකවරුන්ගෙන් අරිස්තාර්කස් සහ සෙකුන්දස් ද දර්බයේ ගායස් ද තිමෝතියස් ද ආසියාවේ තුකිකස් සහ ත්‍රොපිමස් ද ඔහු සමඟ ආසියාව දක්වා ගියහ. මොවුහු පෙරටුව ගොස්, අප එන තෙක් ත්‍රෝවසයේ බලා සිටියහ. නුමුහුන් රොටි මංගල්‍ය දවස්වලට පසු අපි පිලිප්පියෙන් නැව් නැඟී, පස් දවසකින් ත්‍රෝවසයෙහි සිටි ඔවුන් වෙතට ගොස්, එහි සත් දවසක් නැවතී සිටියෙමු. සතියේ පළමු වැනි දා අප රොටි කඩන්නට රැස් වූ කල, පාවුලු පසුවදා යන්නට අදහස් කළ බැවින්, මැදියම් රැය දක්වා, ඔහු ඔවුන්ට අනුශාසනා කෙළේ ය; අප රැස් ව සිටි උඩු මහලේ බොහෝ පහන් දල්වා තිබිණි. යුතිකස් නම් එක් තරුණයෙක් නිදි කිරා වැටෙමින් කවුළුව උඩ උන්නේ ය; පාවුලු දිගින් දිගට අනුශාසනා කරද්දී යුතිකස් බර නින්ද නිසා තුන්වැනි මහලින් පහළට වැටිණි. ඔහු ඔසවා ගත් කල මැරී සිටියේ ය. එවිට පාවුලු බැස, ඔහු පිට වැටී, ඔහු වැළඳ ගෙන: “කරදර නොවන්න, මොහුට තව ම පණ තිබේ ය”යි කී ය. ඔහු නැවත උඩුමහලට ගොස්, රොටි කඩා වළඳා, ඔවුන් සමඟ පහන් වන තුරු බොහෝ වේලාවක් කතා කර, පසුව පිටත් ව ගියේ ය. ඔව්හු ඒ තරුණයා පණපිටින් කැඳවා ගෙන ගොස්, බොහෝ සේ සැනසුණාහ.

ක්‍රියා 20:1-12 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය