ක්‍රියා 2:5-18
ක්‍රියා 2:5-18 NRSV
එකල මිහි පිට හැම රටකින් ම පැමිණි බැතිමත් ජුදෙව්වරු ජෙරුසලමෙහි සිටියෝ ය. මේ ශබ්දය ඇසුණු කෙණෙහි ම සමූහයා එක්රැස් වූ හ. එම කතා ඔවුන් එකිනෙකාට තම තමන්ගේ මවු බසින් තේරුම් ගත හැකි ලෙස ඇසුණෙන් ඔව්හු වික්ෂිප්ත වූ හ. ඔව්හු සියල්ලෝ පුදුමයෙන් පුදුමයට පත් ව, “බලන්න, මේ කතා කරන සියල්ලෝ ගලීලයෝ නොවෙත් ද? අපට හුරු පුරුදු අපේ ම මවු බසින් ඔවුන් කතා කරනු අප එකිනෙකාට ඇසෙන්නේ කෙසේ ද? පාතිවරුන් ද මේදවරුන් ද එලාම්වරුන් ද මෙසොපොතේමියාවෙහිත් ජුදය සහ කපදෝකියෙහිත්, පොන්තසය සහ ආසියාවෙහිත්, පිරිගිය සහ පම්පිලියායෙහිත්, මිසරය සහ සිරේනිය අවට ලිබියේ ප්‍රදේශවලත් යන මෙකී දේශවාසීන් ද රෝමයෙන් පැමිණි අමුත්තන් වන ජුදෙව්වරුන් හා ජුදෙව් ආගම වැළඳගත්තවුන් ද ක්‍රීතවරුන් හා අරාබිවරු ද වන අපි, අපේ ම භාෂාවලින් දෙවියන් වහන්සේගේ බලවත් ක්‍රියා ගැන ඔවුන් කතා කරනු අසම්හ”යි කී හ. ඔව්හු සියල්ලෝ ම විස්මිත ව, වියවුල් ව, “මෙහි තේරුම කිමෙක් දැ”යි ඔවුනොවුන් අතර කතා කරගත්හ. එහෙත් සමහරෙක් සරදම් කරමින්, “මොවුන් අලුත් මිදියුස පමණට වඩා බී ඇතැ”යි කී හ. එවිට එකොළොස් දෙනා සමඟ නැඟී සිටි පේදුරු තුමා ශබ්ද නඟා ඔවුන්ට මෙසේ කී ය: “ජුදෙව් ජනයිනි, ජෙරුසලමේ වසන සියල්ලෙනි, මෙය දැනගන්න; මගේ වචනවලට සාවධාන ව සවන් දෙන්න. තව ම වේලාව උදේ නවය බැවින් ඔබ සිතන හැටියට මේ අය වෙරි වී නැත. මේ සිද්ධිය නම් ජෝවෙල් දිවැසිවරයා කී දෙය ඉටු වීමකි. ඒ මෙලෙස ය: “දෙවියන් වහන්සේ මෙසේ වදාරන සේක: අන්තිම දවස්වල දී සකල මනුෂ්‍යයන් මාගේ ආත්මානුභාවයෙන් පුරවා ලමි. එවිට ඔබේ දූ පුත්තු දිවැසි වැකි කියති; ඔබේ තරුණයෝ දර්ශන දකිති, ඔබේ මහල්ලෝ ද පැතුම් පතති. එපමණක් නොව, ඒ දවස්වල දී මාගේ දැසිදසුන්ට වුව ද මාගේ ආත්මානුභාවය ප්‍රදානය කරන්නෙමි; ඔව්හු ද දිවැස් වැකි පවසති.

