ක්‍රියා 2:14-36

ක්‍රියා 2:14-36 NRSV

එවිට එකොළොස් දෙනා සමඟ නැඟී සිටි පේදුරු තුමා ශබ්ද නඟා ඔවුන්ට මෙසේ කී ය: “ජුදෙව් ජනයිනි, ජෙරුසලමේ වසන සියල්ලෙනි, මෙය දැනගන්න; මගේ වචනවලට සාවධාන ව සවන් දෙන්න. තව ම වේලාව උදේ නවය බැවින් ඔබ සිතන හැටියට මේ අය වෙරි වී නැත. මේ සිද්ධිය නම් ජෝවෙල් දිවැසිවරයා කී දෙය ඉටු වීමකි. ඒ මෙලෙස ය: “දෙවියන් වහන්සේ මෙසේ වදාරන සේක: අන්තිම දවස්වල දී සකල මනුෂ්‍යයන් මාගේ ආත්මානුභාවයෙන් පුරවා ලමි. එවිට ඔබේ දූ පුත්තු දිවැසි වැකි කියති; ඔබේ තරුණයෝ දර්ශන දකිති, ඔබේ මහල්ලෝ ද පැතුම් පතති. එපමණක් නොව, ඒ දවස්වල දී මාගේ දැසිදසුන්ට වුව ද මාගේ ආත්මානුභාවය ප්‍රදානය කරන්නෙමි; ඔව්හු ද දිවැස් වැකි පවසති. තවද, ඉහළ අහසේ අරුමපුදුම දේ ද, පහත පොළොවේ ලකුණු ද දක්වාලමි. ලේ ද ගිනි ද දුම්වලාපටල ද ඇති වේ. සමිඳාණන් වහන්සේගේ උදාර තේජාන්විත ඒ දවස පහළ වන්නට පෙර, ඉර අඳුරු වන්නේ ය. හඳ ලේ පාට වන්නේ ය. සමිඳාණන් වහන්සේගේ නාමය කියා අයැදින කවුරු නමුත් ගළවනු ලබන්නෝ ය.’ “ඉශ්රායෙල් ජනයිනි, මේ වචනයට සවන් දෙන්න. ඔබ ම දන්නා ලෙස, නාසරෙත්හි ජේසුස් වහන්සේ, දෙවියන් වහන්සේ විසින් තෝරා පත් කළ මනුෂ්‍යයෙකි. ඒ බව, දෙවියන් වහන්සේ උන් වහන්සේ මඟින් ඔබ අතර කළ ප්‍රබල ක්‍රියාවලින් ද අරුමපුදුම දේවලින් ද ලකුණුවලින් ද පෙන්වූ සේක. එම ජේසුස් වහන්සේ, දෙවියන් වහන්සේගේ නියමිත අභිප්‍රාය හා පෙර දැනුම අනුව, පාවා දෙනු ලැබූ සේක. ඔබ අදමිටු මිනිසුන් ලවා උන් වහන්සේ කුරුසියේ ඇණ ගස්වා මරා දැමුවහු ය. එහෙත් දෙවියන් වහන්සේ මරණ බන්ධනයෙන් උන් වහන්සේ මුදා උත්ථාන කර වදාළ සේක. මන්ද, මරණයට උන් වහන්සේ බැඳ තබාගත නොහැකි විය. දාවිත් උන් වහන්සේ ගැන කතා කරමින් මෙසේ කී ය: ‘සමිඳාණන් වහන්සේ නිරතුරු මා ඉදිරියේ සිටිනු දුටිමි; මා නොසැලෙන පිණිස උන් වහන්සේ මාගේ දකුණු පසෙහි සිටින සේක. එබැවින් මාගේ හද සොම්නස් විය; මාගේ වචන ප්‍රමුදිත විය; මාගේ සිරුර ද බලාපොරොත්තුවෙන් පුල පුලා සිටින්නේ ය. මන්ද, ඔබ වහන්සේ, මාගේ ජීවිතය පාතාලයේ දමන්නේ වත්, ඔබගේ දැහැමි තැනැත්තා ජරාපත් වන්නට ඉඩ දෙන්නේ වත් නැත. ඔබ ජීවනයේ මාර්ගයන් මට දැන් වූ සේක. ඔබගේ වැඩවිසීමෙන් ඔබ මා ප්‍රීතියෙන් පුරවන සේක. “සහෝදරවරුනි, ආදි පිතෘ වන දාවිත් මළ බවත්, තැන්පත් කරනු ලැබූ බවත් නොවළහා කියන්නට කැමැත්තෙමි. ඔහුගේ සොහොන අද දක්වා අප අතර ඇත. ඔහු දිවැසිවරයෙකු වූ බැවින්, ඔහුගේ වංශයෙන් කෙනෙකු ඔහුගේ සිංහාසනය පිට හිඳුවන සේකැ යි දෙවියන් වහන්සේ දිවුරුමකින් ඔහුට දිවුළ බව ඔහු දැන ගත්තේ ය. ඔහු මෙය කල් මත්තෙන් දැක, ක්‍රිස්තුන් වහන්සේගේ පුනරුජ්ජීවනය ගැන කතා කරමින්, ‘උන් වහන්සේ පාතාලයේ හැරදමනු නොලැබූ බවත්, උන් වහන්සේගේ සිරුර ජරාපත් නොවූ බවත්’ කී ය. “දෙවියන් වහන්සේ මෙම ජේසුස් වහන්සේ මරණයෙන් උත්ථාන කොට වදාළ සේක. එයට අපි සියල්ලෝ සාක්ෂිකාරයෝ වෙමු. උන් වහන්සේ දෙවියන් වහන්සේගේ දකුණතින් උසස් කරනු ලැබ, පියාණන් වහන්සේ පොරොන්දු වූ ශුද්ධාත්මයාණන් ලබා, ඔබ අසන දකින මේ දේ ප්‍රදානය කළ සේක. එහෙත් දාවිත් ස්වර්ගයට නැඟුණේ නැත. මන්ද, ඔහු ම, ‘මා ඔබේ සතුරන් ඔබේ පා යට ලන තෙක් මාගේ දකුණු පස අසුන් ගන්න කියා සමිඳාණෝ මා සමිඳුන්ට වදාළ සේකැ’යි කියයි. “එබැවින් ඔබ කුරුසියෙහි ඇණ ගැසූ මේ ජේසුස් වහන්සේ, දෙවියන් වහන්සේ විසින් ස්වාමීන් බවටත්, ක්‍රිස්තුන් බවටත්, පත් කර වදාළ බව මුළු ඉශ්රායෙල් ජනතාව සහතික ලෙස දැන ගනිත් වා.”