ක්‍රියා 17:22-29

ක්‍රියා 17:22-29 NRSV

එවිට පාවුලු, අරියෝපග ශාලාව මැද සිට මෙසේ දෙසී ය: “ඇතන්ස් වැසියෙනි, ඔබ හැම අතින් ම ආගම ධර්මයට ලැදිකම් ඇති අය බව මට පෙනේ. ඔබ නමස්කාර කරන වස්තු නරඹමින් මා යන අතර, ‘නාඳුනන දෙවියන්ට ය’ යන ලේඛනයක් ඇති පූජාසනයක් ද දිටිමි. ඔබ නොදැන නමස්කාර කරන ඒ දෙවියන් මම ඔබට ප්‍රකාශ කරමි. ලෝකය ද එහි සියල්ල ද මවා වදාළ දෙවියන් වහන්සේ ස්වර්ගයටත් පොළොවටත් ස්වාමීන් ව සිටින බැවින්, උන් වහන්සේ මිනිස් අතින් සාදන ලද මාලිගාවල නොවසන සේක. උදව්උපකාරයෙන් යැපෙන අයෙකු සේ උන් වහන්සේ මිනිස් අත්වලින් උපස්ථාන නොලබන සේක. මන්ද, සියල්ලන්ට ජීවිතය ද හුස්ම ද අන් සියලු දේ ද දෙන්නේ උන් වහන්සේ ය. උන් වහන්සේ එක් මිනිසෙකුගෙන් සකල මිනිස් සංහතිය මවා වදාළ සේක. මිහි පිට වාසය කරන පිණිස නියමිත කාලයන් ද වාසස්ථානවල සීමා ද නියම කළ සේක. මෙසේ කෙළේ දෙවියන් වහන්සේ ගැන හැඟීමකින් ද, හමුවන බලාපොරොත්තුවෙන් යුතුව ද උන් වහන්සේ සොයන පිණිස ය. උන් වහන්සේ අප එකිනෙකාට නුදුරු ව සිටින සේක. “මන්ද, කියා තිබෙන පරිදි, ‘අපි උන් වහන්සේ තුළ ජීවත් වෙමු, හැසිරෙමු, පවතිමු.’ තවද, ඔබගේ කිවිවරයන්ගෙන් සමහරෙකු පවා කියා තිබෙන පරිදි, ‘අපි උන් වහන්සේගේ දරුවෝ වෙමු.’ අප දෙවියන් වහන්සේගේ දරුවන් වන බැවින් දේවත්වය වනාහි මිනිස් කලාශිල්පයෙන් හා දක්ෂකමින් හා කැටයම් කළ රනට වත් රිදීයට වත් ගලට වත් සමාන යයි නොසිතිය යුතු ය.