ක්‍රියා 12:1-10
ක්‍රියා 12:1-10 NRSV
ඒ කාලයේ දී හෙරොද් රජ, සභාවේ සමහරුනට පීඩා කරන්නට පටන්ගත්තේ ය. ඔහු ජොහන්ගේ සහෝදර වූ ජාකොබ් කඩුවෙන් මැරී ය. ඊට ජුදෙව්වරුන් ප්‍රසන්න වූ බව දැක, ඔහු පේදුරු ද අල්ලාගැනීමට ප්‍රයත්න දැරී ය. ඒ වනාහි නුමුහුන් රොටි වළඳන දවස් ය. ඔහු පේදුරු අල්ලා හිරගෙයි දමා, පාස්කු මංගල්‍යයෙන් පසු සෙනඟ ඉදිරියට ගෙනෙන්නට සිතා, හේවායින් සතර දෙනා බැගින් ඇති කණ්ඩායම් සතරකට ඔහු රැකවල් කරන්නට භාර දුන්නේ ය. එබැවින් පේදුරු හිර අඩස්සියේ සිටිය දී සභාව ඔහු උදෙසා දෙවියන් වහන්සේට උදක් ම යාච්ඤා කළා ය. පේදුරු නඩු ශාලාවට පමුණුවන්නට හෙරොද් අදහස් කරගෙන සිටි දිනට පෙර දින රාත්‍රියේ දී පේදුරු දම්වැල් දෙකකින් බඳින ලදුව හේවායන් දෙදෙනකු මැද නිඳා සිටියේ ය. මුර භටයෝ දොර ඉදිරියේ හිරගෙය රැකවල් කළහ. එකෙණෙහි ම සමිඳාණන් වහන්සේගේ දුතයෙක් එහි පහළ විය. ආලෝකයක් හිර ගෙයි බැබළිණි. ඔහු පේදුරුගේ පිටට තට්ටු කර අවදි කරමින්, “වහා ම නැඟිටින්නැ”යි කී ය. ඔහුගේ අත්වලින් දම්වැල් ගැලවී වැටුණේ ය. දේව දූතයා ඔහුට කතා කොට, “ඉඟපටිය බැඳ, පාවහන් දමා ගන්නැ”යි කී ය. ඔහු එසේ කෙළේ ය. “ඔබේ සළුව ඇඟලාගෙන මා පස්සේ එන්නැ”යි දූතයා ඔහුට කී ය. දූතයා කළ දේ ඇත්තක් බව නොදැන, තමා දර්ශනයක් දකින්නේ යයි සිතමින්, පේදුරු පිටත් ව දූතයා පසුපසින් ගියේ ය. ඔව්හු පළමු වන, දෙ වන මුරකාවල් පසු කොට නුවරට පිවිසීමට ඇති යකඩ දොරටුවට ළඟා වූ හ. එය ඔවුන් සඳහා ඉබේ ම ඇරුණේ ය. ඔවුන් පිටතට ගොස් එක වීදියක් පසු කළ කෙණෙහි ම, දේව දූතයා ඔහු කෙරෙන් වෙන් ව ගියේ ය.

