ක්‍රියා 10:1-20
ක්‍රියා 10:1-20 NRSV
ඉතාලි යයි නම් ලත් භට හමුදාවේ ශතාධිපතියෙකු වූ කොර්නේලියස් නම් එක්තරා මිනිසෙක් කායිසාරියේ සිටියේ ය. ඔහු බැතිමතෙකි. සිය ගෙදර වැසියන් සමඟ දේව නමස්කාරයෙහි යෙදුන කෙනෙකි. සෙනඟට බොහෝ සේ දන් දෙමින් නොකඩ ව දෙවියන් වහන්සේට යාච්ඤා කිරීමෙහි නිරත වූවෙකි. දිනක් සවස තුනට පමණ දෙවියන් වහන්සේගේ දුතයෙක් ඔහුගේ නිවසට පැමිණ, “කොර්නේලියස්” කියා තමාට ආමන්ත්‍රණය කරනු ඔහු දර්ශනයකින් පැහැදිලි ලෙස දැක, දූතයා දෙස නෙත් යොමා බලා, බියපත් වී, “ස්වාමීනි, කිමෙක් දැ”යි ඇසී ය. දූතයා කතා කොට, “ඔබේ යාච්ඤා ද දාන ද සිහිවටන වශයෙන් දෙවියන් වහන්සේ ඉදිරියට නැඟී ඇත. ඉදින් ජොප්පාවට මිනිසුන් යවා, පේදුරු නම් සීමොන් කැඳවාගන්න. ඔහු මුහුද අද්දර සීමොන් නම් සම් පදම් කරන්නෙකුගේ ගෙදර නවාතැන්ගෙන සිටී ය”යි කී ය. මෙසේ කතා කළ දේව දූතයා ගිය කල, කොර්නේලියස් තමාගේ ගෙදර මෙහෙකරුවන්ගෙන් දෙදෙනෙකු ද තමාගේ පෞද්ගලික ආවතේව කරන්නන්ගෙන් පක්ෂපාත හේවායෙකු ද කැඳවා, ඔවුනට සියල්ල කියා දී, ඔවුන් ජොප්පාවට යැවී ය. පසු දින ඔවුන් ගමන් කොට ඒ නුවරට ළං වෙත් ම, පේදුරු මද්දහන වේලාව පමණේ දී යාච්ඤා කරන පිණිස වහල්තලයට නැඟුණේ ය. එවිට බඩගිනි ව, කෑම කන්නට ඔහුට ඕනෑ විය. එහෙත් ඔවුන් කෑම පිළියෙළ කරද්දී ඔහුට දිව්‍ය දර්ශනයක් ලැබුණි. එවිට අහස විවර ව, මහත් රුවලක් වැනි යම් දෙයක් එහි සතර කොණින් බැඳ පොළොවට බස්වනු ඔහු දිටී ය. පොළොවේ සියලු ආකාර සිවුපාවෝ ද උරග ජාතීහු ද ආකාශ පක්ෂීහු ද එහි සිටියෝ ය. “පේදුරු නැඟිට මරා කන්න” යන හඬක් ඔහුට ඇසිණි. එහෙත් පේදුරු, “ස්වාමීනි, එසේ නොවේ වා; මන්ද, අකැප, අපවිත්‍ර දෙයක් කිසි කලෙකත් මම නොකෑවෙමි”යි කී ය. “දෙවියන් වහන්සේ පවිත්‍ර කළ දේ, අකැප යයි නොකියන්නැ”යි දෙ වන වරටත් කියන හඬක් ඇසිණි. මෙය තුන් වරක් ම සිදු විය. එකෙණෙහි ම ඒ දේ අහසට ඔසවාගනු ලැබී ය. තවද, තමා දුටු දර්ශනය කුමක් දැ යි සිත සිතා, පේදුරු වියවුල් ව සිටිය දී, කොර්නේලියස් විසින් එවන ලද මනුෂ්‍යයෝ සීමොන්ගේ ගෙදර කොහේ දැ යි විමසමින් අවුත් එහි දොරටුව ළඟ සිට, “පේදුරු නම් ලත් සීමොන් මෙහි නැවතී සිටී දැ”යි හඬ නඟා ඇසූ හ. පේදුරු තමා දුටු දර්ශනය ගැන කල්පනා කරමින් සිටිය දී, ආත්මයාණන් වහන්සේ ඔහු අමතමින්, “අන්න, මිනිස්සු තුන් දෙනෙක් ඔබ සොයති. එබැවින් නැඟිට, බැස ගොස් කිසි සැකයක් නැති ව, ඔවුන් සමඟ යන්න. ඔවුන් එවූයේ මම ය”යි වදාළ සේක.

