2 තිමෝති 4:11-22

2 තිමෝති 4:11-22 NRSV

ලූක් පමණක් මා සමඟ සිටී. මාක් ඔබ සමඟ කැඳවාගෙන එන්න. මගේ වැඩට ඔහු ප්‍රයෝජනවත් සහකාරයෙකි. තුකිකස් එපීසයට යැවීමි. ත්‍රෝවස්හි දී කාර්පස් ළඟ මා තබා ආ සළුව ද පොත් ද විශේෂයෙන් සටහන් පොත් ද ඔබ එන විට ගෙනෙන්න. තඹකරු ඇලෙක්සැන්දර් මට බොහෝ නපුරුකම් පෑවේ ය. සමිඳාණන් වහන්සේ ඔහු කළ දෙයට නිසි විපාක දෙන සේක. ඔබත් ඔහුගෙන් පරිස්සම් වෙන්න. මන්ද ඔහු අප දුන් පණිවුඩයට දරුණු ලෙස විරුද්ධ වූ බැවිනි. මගේ පළමු නඩු විභාගයේ දී කිසිවෙක් මා සමඟ නොසිටියහ. සියල්ලෝම මා අත්හැර ගියෝ ය. ඒ ගැන ඔවුන්ට වරදක් නොපැමිණේ වා. එහෙත් සමිඳාණන් වහන්සේ මා අත්හැර නොගොස් මා ශක්තිමත් කළ සේක. මෙසේ මා මඟින් සුබ අස්න සම්පූර්ණ ලෙස සියලු විජාතීන්ට ඇසෙන සේ ප්‍රකාශ වනු ඇත. එසේ සිංහයාගේ කටින් මම මුදා ගනු ලැබුවෙමි. සමිඳාණන් වහන්සේ සියලු දරුණු උවදුරුවලින් මා මුදා, උන් වහන්සේගේ ස්වර්ග රාජ්‍යයට මා පමුණුවන සේක. උන් වහන්සේට සදහට ම මහිමය වේ වා! ආමෙන්. ප්‍රිස්කාට ද අකිලාට ද ඔනෙසිපොරස්ගේ පවුලේ අයට ද ආචාර කරමි. එරස්තස් කොරින්තියෙහි නතර විය. ත්‍රොපිමස් අසනීප වූ නිසා මිලේතසෙහි නවත්වා ආවෙමි. ශීත කාලයට පෙර එන්නට උත්සාහ කරන්න, ජුබුලස් ද පුදෙන්ස් ද ලීනස් ද ක්ලෝඩියා ද සහෝදර පිරිස ද ඔබට ආචාර කරති. සමිඳාණන් වහන්සේ ඔබ සමඟ වේ වා! ඔබ සැමට කරුණාව වේ වා!

මෙයට අදාළ වීඩියෝ