2 තෙසලෝනික 3:3-9
2 තෙසලෝනික 3:3-9 NRSV
එහෙත් සමිඳාණන් වහන්සේ විශ්වාසවන්ත ය. උන් වහන්සේ ඔබ ශක්තිමත් කොට නපුරාගෙන් ඔබ ආරක්ෂා කරන සේක. තවද, අප ඔබට අණ කරන දේ ඔබ දැනටත්, මතුවටත් ඉටු කරනු ඇතැ යි සමිඳාණන් වහන්සේ ඔබ ගැන අපට සහතිකයක් දී ඇත. සමිඳාණන් වහන්සේ ඔබගේ සිත් දෙවියන් වහන්සේගේ ප්‍රේමයටත්, ක්‍රිස්තුන් වහන්සේගෙන් වන ඉවසීමටත් පමුණුවන සේක් වා! තවද, සහෝදරවරුනි, අපෙන් ලැබූ උපදෙස් අනුව නොව, අලසකමින් හැසිරෙන සියලු සහෝදරයන්ගෙන් වෙන් ව සිටින මෙන් අපගේ ජේසුස් ක්‍රිස්තුස් සමිඳාණන් වහන්සේගේ නාමයෙන් අපි ඔබට අණ කරමු. අපේ ආදර්ශය ඔබ අනුගමනය කළ යුත්තේ කෙසේ දැ යි ඔබ ම දන්නහු ය. අප ඔබ අතර අලසකමින් හැසුරුණේ නැත. අපි කිසිවෙකුගෙන් පිනට කෑම නොකෑවෙමු. ඔබෙන් කිසිවෙකුට බරක් නො වන පිණිස, අපි වෙහෙස මහන්සියෙන් දිවා රෑ දෙක්හි වැඩ කළෙමු. අප මෙය කෙළේ ඔබෙන් ආධාර ලැබීමට අපට අයිතියක් නැති නිසා නොව, අනුගමනය කිරීම සඳහා ඔබට ආදර්ශයක් දෙන පිණිස ය.








