2 සාමුවෙල් 6:1-7
2 සාමුවෙල් 6:1-7 NRSV
ඉශ්රායෙල්වරුන්ගෙන් තෝරාගත් සියල්ලන් වන මිනිසුන් තිස්දහසක් දාවිත් නැවත රැස් කෙළේ ය. දාවිත් නැඟිට තමා සමඟ සිටි මුළු සෙනඟ කැටුව යනුයේ, කෙරුබ්වරුන් පිට සිහසුන් අරා සිටින සියලු බලැති සමිඳාණන් වහන්සේගේ නාමය දරන දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙනෙන පිණිස ජුදාහි බායාලේට ගියේ ය. ඔව්හු හෙල මත පිහිටා තිබුණු අබිනාදාබ්ගේ ගෙයින් දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව අලුත් රථයක තබා ගෙනාවෝ ය. අබිනාදාබ්ගේ පුත්‍රයන් වන උශ්ශා ද අහියෝ ද අලුත් රථය දක්කාගෙන ගියෝ ය. ඔව්හු හෙල මත තිබුණ අබිනාදාබ්ගේ ගෙයින් දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙන රථයේ තබාගෙන ගෙනාවෝ ය; ඒ ඉදිරියෙන් අහියෝ ගමන් කෙළේ ය. දාවිත් සහ මුළු ඉශ්රායෙල් වංශය සියලු ආකාර තූර්ය භාණ්ඩවලින් ද කුඩා වීණාවලින් ද කයිතාලම්වලින් ද වීණාවලින් ද රබන්වලින් ද අත්තලවලින් ද නාද කරමින් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි මහ හඬින් ගයමින් නැටුවෝ ය. ඔවුන් නාකොන්ගේ කමතට පැමිණි විට හරකුන් දැඟලූ බැවින්, උශ්ශා දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුවට අත දිගු කොට එය ඇල්ලුවේ ය. එවිට සමිඳාණන් වහන්සේගේ උදහස උශ්ශාට විරුද්ධ ව ඇවිළිණි. දෙවියන් වහන්සේ ඒ වරද නිසා එහි දී ඔහුට පහර දුන් සේක. ඔහු දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ළඟ මැරුණේ ය.

