2 සාමුවෙල් 11:6-16

2 සාමුවෙල් 11:6-16 NRSV

එවිට දාවිත්, “හිත්තීය උරියා මා ළඟට එවන්නැ”යි ජෝවාබ්ට කියා යැවී ය. ජෝවාබ්, දාවිත් ළඟට උරියා යැවී ය. උරියා ඔහු ළඟට ආ කල දාවිත් ඔහුගෙන් ජෝවාබ්ගේ ද සෙනඟගේ ද සැප සනීප ගැනත්, යුද්ධය සිදු වේගෙන යන ආකාරයත් විචාළේ ය. ඉන්පසු දාවිත්, “ඔබ ගෙදර ගොස් විවේකී ව සිටින්නැ”යි උරියාට කීවේ ය. උරියා රජ මාලිගාවෙන් පිටත් ව ගියේ ය. ඔහු ගිය පසු රජුගෙන් ත්‍යාගයක් ඔහු වෙත යවන ලදී. එහෙත්, උරියා සිය ගෙදරට නො‍ගොස්, තමාගේ ස්වාමියාගේ මෙහෙකරුවන් සමඟ රජ මාලිගාවේ දොරකඩ නිදාගත්තේ ය. “උරියා තමාගේ ගෙදරට නො‍ගියේ ය”යි දාවිත්ට දන්වනු ලැබූ කල, දාවිත් උරියාට කතා කොට, “ඔබ ගමනක් ගොස් ආවා නො‍වේ ද? ඔබ ගෙදර නො‍ගියේ මන්දැ”යි ඇසුවේ ය. උරියා දාවිත්ට කතා කොට, “ගිවිසුම් කරඬුව කූඩාරමක ඇත; ඉශ්රායෙල්වරු ද ජුදෙව්වරු ද කූඩාරම්වල සිටිති; මාගේ ස්වාමීන් වන ජෝවාබ් ද මාගේ ස්වාමියාගේ සේවකයෝ ද එළිමහනේ කඳවුරු බැඳගෙන සිටිති. එසේ නම්, කා, බී ප්‍රීති වන්නටත්, මාගේ බිරිඳ සමඟ සයනය කරන්නටත් මා මාගේ ගෙදරට යන්නේ කෙසේ ද? මම සැබෑ ලෙස එවැන්නක් නො‍කරමි යි ජීවමාන දෙවියන් වහන්සේගේ නාමයෙන් ද ඔබේ නාමයෙන් ද දිවුරා කියමි”යි පැවසී ය. එවිට දාවිත් පිළිතුරු දෙමින්, “අදත් මෙහි සිටින්න, හෙට ඔබ යන්නට හරින්නෙමි”යි උරියාට කීවේ ය. එසේ උරියා එදත්, පසු දිනත් ජෙරුසලමේ සිටියේ ය. පසු දින දී දාවිත් ඔහු කැඳවා, ඔහුට කන්නටත්, බොන්නටත් දී ඔහු වෙරිමත් කෙළේ ය. ඔහු සවස තමාගේ ස්වාමියාගේ මෙහෙකරුවන් සමඟ තමාගේ ඇඳේ නිදන පිණිස ගියේ ය. එහෙත් සිය ගෙදරට නො‍ගියේ ය. පසු දින උදේ දාවිත් ජෝවාබ්ට ලියුමක් ලියා එය උරියා අතේ යැවී ය. ඔහු ඒ ලියුමේ, “සටන ඉතා බලවත් ව තිබෙන තැනක උරියා සිටුවා, පහර ලැබ නසින පිණිස ඔහු අත්හැර අහක් වන්නැ”යි ලියා යැවී ය. ජෝවාබ් නුවර වටලා සිටිය දී වීරවන්ත මිනිසුන් සිටින බව ඔහු දැන සිටි ස්ථානයේ උරියා සිටෙවුවේ ය.

මෙයට අදාළ වීඩියෝ