2 රාජාවලියේ 5:2-10

2 රාජාවලියේ 5:2-10 NRSV

සිරියන්වරුන්ගේ එක්තරා ආක්‍රමණයක දී ඔවුන් ඉශ්රායෙල් දේශයෙන් කුඩා දැරියක අල්ලාගෙන අවුත් තිබිණි. ඈ නාමන්ගේ භාර්යාවට සේවය කළා ය. ඈ වනාහි ඇගේ ස්වාමිදුවට කතා කොට, “මාගේ ස්වාමියා සමාරියේ දිවැසිවරයා ඉදිරියෙහි පෙනී සිටියොත් හොඳ‍ ය; එවිට ඔහුගේ කුෂ්ඨය සුව කරනු ඇතැ”යි කීවා ය. එවිට නාමන් ගොස් ඉශ්රායෙල් දේශයෙන් ආ දැරිය කී දේ එලෙස ම කියා තමාගේ ස්වාමියාට දැන්වී ය. සිරියාවේ රජ ද, “ඉතින් ඔබ එහි යන්න; මම ඉශ්රායෙල් රජුට ලියුමක් හරින්නෙමි”යි කී ය. ඔහු ද රිදී කාසි තිස්දාහකුත්, රන් කාසි හයදාහකුත්, ඇඳුම් කුට්ටම් දසයකුත් රැගෙන පිටත් ව ගියේ ය. ඔහු ඒ ලියුම ඉශ්රායෙල් රජු වෙත ගෙනාවේ ය. “මේ ලියුම ඔබට ලැබුණු විට නාමන් නම් මාගේ සේවකයාගේ කුෂ්ඨය සුව කරන පිණිස ඔහු ඔබ ළඟට එවමි”යි එහි ලියා තිබිණි. ඉශ්රායෙල් රජ ලියුම කියවා, පුදුම වී තමාගේ ඇඳුම් ඉරාගෙන, “මනුෂ්‍යයෙකුගේ කුෂ්ඨය සුව කරන්නට කියා මොහු මට ලියා එවන්නේ යමෙකු මරන්නත්, ජීවත් කරන්නත් මා දෙවියන් වහන්සේ කියා සිතාගෙන ද? මොහු මට විරුද්ධ ව දබරයකට කාරණයක් සොයන හැටි කල්පනා කර බලන්නැ”යි කී ය. ඉශ්රායෙල් රජු තමාගේ ඇඳුම් ඉරාගත් බව දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා වන එලිෂා අසා, “ඔබ කුමක් නිසා ඔබේ ඇඳුම් ඉරාගන්නෙහි ද? ඔහු මා ළඟට ආවා වේ. එවිට ඔහු ඉශ්රායෙල්හි දිවැසිවර කෙනෙකු සිටින බව දැනගන්නේ ය”යි රජුට කියා යැවී ය. මෙසේ නාමන් තමාගේ අශ්වයන් ද රථ ද ඇති ව අවුත් එලිෂාගේ ගෙයි දොරකඩ ළඟ සිටියේ ය. එලිෂා කතා කොට, “ඔබ ගොස් ජොර්දාන් ගඟෙහි සත් වරක් නාන්න; එවිට ඔබේ කුෂ්ඨය සුව වී ඔබේ ශරීරය නැවත පවිත්‍ර වන්නේ ය”යි පණිවුඩකාරයෙකු අත කියා යැවී ය.

මෙයට අදාළ වීඩියෝ

2 රාජාවලියේ 5:2-10 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය