2 රාජාවලියේ 20:1-11

2 රාජාවලියේ 20:1-11 NRSV

ඒ කාලයේ දී හෙසකියා රෝගී ව මරණාසන්න විය. ආමොස්ගේ පුත් යෙසායා දිවැසිවරයා ඔහු ළඟට අවුත්, “නුඹේ කටයුතු පිළියෙළ කර තබන්න. මන්ද, නුඹ මැරෙන්නෙහි ය. ජීවත් නොවන්නෙහි ය කියා සමිඳාණන් වහන්සේ කියන සේකැ”යි ඔහුට කී ය. එවිට ඔහු තමාගේ මුහුණ බිත්තිය දෙසට හරවාගෙන සමිඳාණන් වහන්සේට යාච්ඤා කරමින්, “අහෝ, සමිඳුනි, මා සැබෑකමිනුත්, සම්පූර්ණ සිතකිනුත් ඔබ ඉදිරියෙහි හැසිර ඔබේ ඇස් හමුයෙහි හරි දේ කළ බව සිහි කළ මැනව”යි අතිශයින් හැඬුවේ ය. යෙසායා මළුව දක්වා යන්නට පළමුවෙන් සමිඳාණන් වහන්සේගේ වචනය ඔහු වෙත පැමිණ කියනුයේ, “නුඹ හැරී ගොස් මාගේ සෙනඟගේ අධිපතියා වන හෙසකියාට මෙසේ කියන්න: ‘නුඹේ පියා වූ දාවිත්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: මම නුඹේ යාච්ඤාව ඇසීමි, නුඹේ කඳුළු දිටිමි. බලන්න, මම නුඹ සුවපත් කරන්නෙමි. තුන් වන දින නුඹ සමිඳාණන් වහන්සේගේ මාලිගාවට යන්නෙහි ය. නුඹේ වයසට පහළොස් අවුරුද්දක් එකතු කරන්නෙමි. මම අසිරියාවේ රජුගේ අතින් නුඹ සහ මේ නුවර ගළවා මා නිසාත්, මාගේ මෙහෙකරු වූ දාවිත් නිසාත්, මේ නුවර රැකගන්නෙමි’ කියා කියන්නැ”යි පැවසී ය. එවිට යෙසායා, “අත්තික්කා පැලැස්තරයක් ගෙනෙ‍න්නැ”යි කී ය. ඔව්හු එය ගෙනවුත් එය වණය පිට තැබුවෝ ය. එවිට රජ සුවපත් විය. හෙසකියා යෙසායාට කතා කොට, “සමිඳාණන් වහන්සේ මා සුවපත් කරන බවටත්, තුන් වන දා මා සමිඳාණන් වහන්සේගේ මාලිගාවට යන බවටත් ලකුණ කිමෙක් දැ”යි ඇසී ය. යෙසායා කතා කොට, “සමිඳාණන් වහන්සේ වදාළ දේ කරන බවට සමිඳාණන් වහන්සේගෙන් ඔබට ලැබෙන ලකුණ මේ ය: එනම්, පඩි පෙළේ ඡායාව අංශක දසයක් ඉස්සරහට යනවාට හෝ පස්සට හැරී එනවාට හෝ කැමැති දැ”යි ඇසී ය. හෙසකියා ද, “ඡායාව අංශක දසයක් ඉස්සරහට යන එක සුළු දෙයකි, එසේ නොව ඡායාව අංශක දසයක් පස්සට හැරී ඒ වා”යි කී ය. එවිට දිවැසිවර යෙසායා සමිඳාණන් වහන්සේට යාච්ඤා කෙළේ ය. උන් වහන්සේ ආහාස්ගේ පඩි පෙළේ ඡායාව බැස ගිය තැනින් අංශක දසයක් පස්සට පැමිණෙවු සේක.