2 කොරින්ති 11:12-27
2 කොරින්ති 11:12-27 NRSV
අප හා සම තත්ත්වයක් ඇතැ යි පාරට්ටු කරගැනීමට අවස්ථා සොයන අයට කිසි අවස්ථාවක් නොදීම පිණිස මා දැන් කරන දේ මතු ද කරගෙන යමි. එබඳු අය ව්‍යාජ ප්‍රේරිතවරයෝ ය, ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේරිතවරයන් මෙන් වෙස් වළාගත් වංචනික සේවකයෝ ය. එය පුදුමයක් නොවේ. සාතන් පවා ආලෝකයේ දූතයෙකු මෙන් වෙස් වළාගනියි. ඒ නිසා ඔහුගේ සේවකයන් ද, දමිටුකමේ සේවකයන් මෙන් වෙස් වළාගැනීම පුදුමයක් නොවේ. ඔවුන්ගේ අවසානය ඔවුන්ගේ ක්‍රියා අනුව සිදු වේ. මම අඥානයෙක් ය කියා කිසිවෙක් නොසිතිය යුතු යයි මම නැවතත් කියමි. ඔබ එලෙස සිතන්නහු නම් මට මඳක් පාරට්ටු කරගැන්මට හැකි වන සේ, අඥානයෙකු ලෙස වුව ද මා පිළිගන්න. සැක නැති ව පාරට්ටු කරගැනීමේ දී මා කියන දේ, සමිඳාණන් වහන්සේගේ කැමැත්ත අනුව නොව අඥානකමකින් මෙන් පවසන්නකි. බොහෝ දෙනෙකු ලෞකික ලෙස පාරට්ටු කරගන්නාක් මෙන්, මම ද පාරට්ටු කරගනිමි. ඔබ ඥානවන්තයෝ ලූ! එහෙත් අඥානයන් පිළිගන්නහු ය. යමෙකු ඔබ වහල්කොට ගත්තත්, ගසාකෑවත්, කොන්කළත්, හෙළා දැක්කත්, ඔබේ මුහුණට පහර දුන්නත් ඔබ ඉවසන්නහු ය. මෙසේ කිරීමට තරම් මා දුර්වල වී නම් මම ලජ්ජා වෙමි. යමක් ගැන යමෙක් ආඩම්බර වේ නම්, මටත් එලෙස ආඩම්බර විය හැකි ය. මා එසේ කියන්නේ අඥානකමින් ය. ඔව්හු හෙබ්‍රෙව්වරු ද? මමත් එසේ ම ය. ඔව්හු ඉශ්රායෙල්වරු ද? මමත් එසේ ම ය. ඔව්හු ආබ්‍රහම්ගේ පෙළපතින් පැවත එන්නෝ ද? මමත් එසේ ම ය. ඔව්හු ක්‍රිස්තුන් වහන්සේගේ සේවකයෝ ද? මම ඊටත් වැඩියෙන් උන් වහන්සේගේ සේවකයෙක් වෙමි. මා එසේ කියන්නේ උමතු වූවෙකු මෙනි. ඔවුන්ට වඩා මම බොහෝ සේ වෙහෙසමහන්සි වූයෙමි. වඩා වාර ගණනක් මම සිරගත වූයෙමි. අප්‍රමාණ ව මම කස පහර ලදිමි. බොහෝ විට මරුමුවට පවා ළං වී සිටියෙමි. ජුදෙව්වරුන්ගෙන් මම ‘තිස්නව-කස-පහර’ පස් වරක් ලදිමි. තුන් වරක් මම වේවැල්වලින් තැළුම් කෑවෙමි. එක වරක් ගල් ගසනු ලැබීමි. තුන් වරක් නැව විනාශ වීමේ උවදුරට භාජන වීමි. මුළු රැයක් හා දවාලක් මම මුහුදේ සිටියෙමි. මාගේ අනේක ගමන්වල දී, ගංගා උවදුරුවලට ද සොර උවදුරුවලට ද ස්වජාතික ජුදෙව්වරුන්ගෙන් පැමිණි උවදුරුවලට ද විජාතිකයන්ගෙන් පැමිණි උවදුරුවලට ද නගරවල උවදුරුවලට ද වනයෙහි උවදුරුවලට ද මුහුදේ උවදුරුවලට ද ව්‍යාජ සහෝදරයන්ගෙන් පැමිණෙන උවදුරුවලට ද භාජන වුණෙමි. මහත් දුෂ්කරතා මැද මම වෙහෙස මහන්සි වී වැඩ කෙළෙමි. නොයෙක් විට නිදි නොලැබ සිටියෙමි; සාගින්නෙන් ද පිපාසයෙන් ද පෙළුණෙමි; බොහෝ විට ආහාර ද ඉඳුම්හිටුම් ද ඇඳුම්පැළඳුම් ද නැති ව සිටියෙමි.

