2 වංශාවලියේ 5

5
1 # 2 සාමු 8:11; 1 වංශා 18:11 මෙසේ සලමොන් සමිඳාණන් වහන්සේගේ මාලිගාව උදෙසා කළ සියලු වැඩ සම්පූර්ණ විය. සලමොන් තමාගේ පිය දාවිත් විසින් කැප කරනු ලැබ තිබුණු දේවල් එනම්, රිදී ද රන් ද සියලු භාණ්ඩ ද ඇතුළට ගෙනවුත් දෙවියන් වහන්සේගේ මාලිගාවේ ගබඩාවල ඒවා තැබී ය.
ගිවිසුම් කරඬුව දේව මාලිගාවට ගෙන ඊම
(1 රාජා 8:1-9)
2 # 2 සාමු 6:12-15; 1 වංශා 15:25-28 එකල සලමොන් සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව දාවිත්ගේ නුවර වූ සියොන්හි සිට ගෙනෙන්නට ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයන් ද ඉශ්රායෙල්වරුන්ගේ පිය වංශ ගෝත්‍රවල සියලු ප්‍රධානීන් ද ජෙරුසලමට රැස් කරවී ය. 3සියලු ඉශ්රායෙල් මනුෂ්‍යයෝ ද සත් වන මාසයේ පැවැත්වූ මංගල්‍යයේ දී රජු වෙත රැස් වූවෝ ය. 4ඉශ්රායෙල්වරුන්ගේ සියලු ප්‍රජා මූලිකයන් ආ කල, ලෙවීවරු ගිවිසුම් කරඬුව උසුලාගෙන 5කරඬුව ද සම්මුඛ මණ්ඩපය ද කූඩාරමෙහි තිබුණු සියලු ශුද්ධ භාණ්ඩ ද ගෙනාහ. පූජකයෝත්, ලෙවීවරුත් ඒවා ගෙනාහ. 6සලමොන් රජු හා ඔහු වෙත රැස් ව සිටි මුළු ඉශ්රායෙල් සභාව කියන්න හෝ ගණින්න හෝ බැරි තරම් බැටළුවන් ද ගවයන් ද පූජා කරමින් ගිවිසුම් කරඬුව ඉදිරියෙහි සිටියෝ ය. 7පූජකයෝ සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව අතිශුද්ධස්ථානය වන මාලිගාවේ දිව්‍ය-වාක්‍යස්ථානයට ගෙනවුත්, කෙරුබ්වරුන්ගේ පියාපත් යට ඊට නියම ස්ථානයෙහි තැබුවෝ ය. 8එසේ කරඬුව තැබූ ස්ථානයට උඩින් විහිදී තිබුණු කෙරුබ්වරුන්ගේ පියාපත්වලට කරඬුවත් එහි පොලුත් වැසී තිබුණේ ය. 9පොලු දිග බැවින් පොලුවල කෙළවරවල් ගිවිසුම් කරඬුවෙන් පිට දිව්‍ය-වාක්‍යස්ථානය ඉදිරියෙහි පෙනුණේ ය. එහෙත්, ඒවා පිටතට පෙනුණේ නැත. ඒවා අද දක්වා ම එහි තිබේ. 10#ද්වි.නී. 10:5 ඉශ්රායෙල්වරුන් මිසරයෙන් පැමිණි පසු සමිඳාණන් වහන්සේ ඔවුන් සමඟ ගිවිසුමක් කළ විට, මෝසෙස් හොරෙබ්හි දී එහි තැබූ ගල්ලෑලි දෙක මිස කරඬුවේ වෙන කිසිවක් නොතිබුණේ ය.
දිව්‍ය තේජස ප්‍රකාශ වීම
11එතැන සිටි සියලු පූජකයෝ කවර පංතියට අයිති වුව ද පවිත්‍ර වී සිටියෝ ය. 12ආසාප් ද හේමන් ද ජෙදුතුන් ද ඔවුන්ගේ පුත්‍රයෝ ද සහෝදරයෝ ද යන ගායකයන් වූ ලෙවීවරු සියල්ලෝ ම සිහින් හණ සළු හැඳ, අත්තල් ද වීණා ද මහා වීණා ද ඇති ව පූජාසනයට පෙරදිගින් සිටියෝ ය. ඔවුන් සමඟ පූජකයෝ එකසිය විසිදෙනෙක් නළා පිඹිමින් සිටියෝ ය. 13#1 වංශා 16:34; 2 වංශා 7:3; එස්රා 3:11; ගීතා 100:5; 106:1; 107:1; 116:1; 136:1; ජෙර 33:11 #නික්ම 40:34-35 එවිට පූජකයන් ශුද්ධස්ථානයේ සිට පිටතට අවුත්, සමිඳාණන් වහන්සේට ස්තුති ප්‍රශංසා කිරීමට නළා පිඹින්නන් හා ගීතිකාකාරයන් සියල්ලන් ම එක ශබ්දයක් ඇසෙන පිණිස එක් කෙනෙකු මෙන් සිට, නළාවලින් ද අත්තල්වලින් ද වෙනත් තූර්ය භාණ්ඩවලින් ද “උන් වහන්සේ යහපත් ය. උන් වහන්සේගේ ස්ථිරසාර ප්‍රේමය සදාකාලයට ම පවත්නේ ය” කියා සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කිරීමෙන් ශබ්ද පැවැත්වූ කල, මාලිගාව එනම්, සමිඳාණන් වහන්සේගේ මාලිගාව වලාපටලයෙන් පිරී ගියේ ය. 14ඒ වලාපටලය නිසා සේවය කිරීම පිණිස පූජකයන්ට එහි සිටින්නට බැරි විය. එසේ වූයේ, සමිඳාණන් වහන්සේගේ තේජසින් දෙවියන් වහන්සේගේ මාලිගාව පිරී ගිය බැවිනි.

දැනට තෝරාගෙන ඇත:

2 වංශාවලියේ 5: NRSV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න