2 වංශාවලියේ 16:1-10
2 වංශාවලියේ 16:1-10 NRSV
ආසා රජකම් කළ තිස්හය වන අවුරුද්දේ දී ඉශ්රායෙල්හි රජ වූ බාෂා ජුදාට විරුද්ධ ව ගොස් ජුදාහි රජු වූ ආසා වෙත කිසිවෙකුට යන්න එන්න ඉඩ නාරින පිණිස රාමා නගරය ගොඩනැඟුවේ ය. එවිට ආසා සමිඳාණන් වහන්සේගේ දේව මාලිගාවේ හා රජ මැදුරේ ගබඩාවලින් රන් රිදී පිටතට ගෙනවුත්, දමස්කයෙහි වාසය කළ සිරියාවේ රජ වන බෙන්-හදද්ට ඒවා යවමින්, “මාගේ පියා ද ඔබේ පියා ද අතරේ තිබුණ පරිදි, මා සහ ඔබ අතරේ ද ගිවිසුමක් තිබේ. මෙන්න, රන් රිදී ඔබට එවමි. ඉශ්රායෙල්හි රජු වන බාෂා මාගේ රටින් අහක් ව යන පිණිස, ඔබ අවුත් ඔහු සමඟ තිබෙන ගිවිසුම කඩ කළ මැනවැ”යි කියා හැරියේ ය. එවිට බෙන්-හදද් ආසා රජුට ඇහුම්කන් දී තමාගේ යුද්ධ සේනාපතීන් ඉශ්රායෙල් නගරවලට විරුද්ධ ව යැවී ය. ඔහු ඊයොන්ටත්, දාන්ටත්, ආබෙල්-මායිම්ටත්, නප්තලීහි සියලු ගබඩා-නගරවලටත් පහර දුන්නේ ය. බාෂා රජ එය ඇසූ විට, ඔහු රාමා නගරය ගොඩනැඟීමෙන් නැවතී තම වැඩ අත් හිටවී ය. එවිට ආසා රජ සියලු ජුදාවරුන් කැඳවාගෙන ගොස්, බාෂා ගොඩනැඟුවා වූ රාමාහි ගල් ද ලී ද ඔවුන් ලවා ගෙන්වාගෙන, එයින් ගෙබා ද මිශ්පා ද යන නගර ගොඩනැඟුවේ ය. එවිට දිවැසිවර හනානි ජුදාහි රජ වූ ආසා ළඟට අවුත් කතා කොට, “ ‘ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ කෙරෙහි ඔබ විශ්වාසය නොතබා, සිරියාවේ රජු කෙරෙහි විශ්වාසය තැබූ බැවින් සිරියාවේ රජුගේ සේනාව ඔබේ අතින් ගැළවී යන්නේ ය. කුෂ්වරු ද ලූබ්වරු ද රථ සහ අසරුවන් මහා රාශියක් ඇති මහා සේනාවක් ව සිටියෝ නොවෙත් ද? එහෙත්, ඔබ සමිඳාණන් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබූ නිසා, උන් වහන්සේ ඔවුන් ඔබ වෙත පාවා දුන් සේක. මන්ද, සමිඳාණන් වහන්සේ තමන් කෙරෙහි සම්පූර්ණ විශ්වාසය ඇති අයට පිහිට වන පිණිස උන් වහන්සේගේ බලය පාමින්, උන් වහන්සේගේ බැල්ම පොළොව මුළුල්ලෙහි සෑම තැන ම යොමු කරන සේක. මේ ගැන ඔබ අනුවණ ලෙස ක්‍රියා කෙළෙහි ය. මෙතැන් පටන් ඔබට විරුද්ධ ව යුද්ධ ඇති වන්නේ ය”යි කීවේ ය. එවිට ආසා රජ දිවැසිවරයා කෙරෙහි කෝප වී ඔහු හිර ගෙයි දැමී ය. මන්ද, ඔහු මේ කාරණය ගැන ඔහු සමඟ උදහස් ව සිටි බැවිනි. එම කාලයේ ම ආසා සෙනඟගෙන් සමහරෙකුටත් පීඩා කෙළේ ය.

