1 සාමුවෙල් 8:10-18

1 සාමුවෙල් 8:10-18 NRSV

එවිට සාමුවෙල් තමාගෙන් රජෙකු ඉල්ලා සිටි සෙනඟට සමිඳාණන් වහන්සේ වදාළ සියලු දේ කීවේ ය. ඔහු ඔවුන්ට මෙසේ කීවේ ය: “ඔබ කෙරෙහි රජකම් කරන රජ මෙවැන්නෙක් වන්නේ ය. ඔහු ඔබේ පුත්‍රයන් ගෙන තමාගේ රියැදුරන් හා අසරුවන් වශයෙන් ද තමාගේ රථවලට පෙරටුව දුවන පිණිස ද පත් කරගන්නේ ය. ඔහු ඔවුන් සහශ්‍රාධිපතීන් ද පණසාධිපතීන් ද වශයෙන් පත් කරගන්නේ ය; සමහරුන් තමාගේ බිම් හාන්නට ද තමාගේ ගොයම් කපන්නට ද තමාගේ යුද්ධ ආයුධත්, රථායුධත් සාදන්නට ද පත් කරගන්නේ ය. ඔහු ඔබේ දූවරුන් සුවඳ ද්‍රව්‍ය සාදන පිණිස ද කෑම පිසින පිණිස ද රොටි පුළුස්සන පිණිස ද ගන්නේ ය. ඔහු ඔබේ කෙත් ද මිදි වතු ද ඔලීව වතු අතරෙන් ඉතා හොඳ ඒවා ද රැගෙන තමාගේ නිලධාරීන්ට දෙන්නේ ය. ඔබේ ධාන්‍යවලින් ද මුද්‍රික ඵලයෙන් ද දසයෙන් කොටසක් ගෙන තමාගේ රජ වාසලේ නිලධාරීන්ටත්, සෙසු නිලධාරීන්ටත් දෙන්නේ ය. ඔබේ දාස දාසීන් ද ඔබේ හොඳ ම ගවයන් ද කොටළුවන් ද තමාගේ වැඩට පත් කරගන්නේ ය. ඔහු ඔබේ බැටළුවන්ගෙන් දසයෙන් කොටසක් ගන්නේ ය; ඔබ ඔහුගේ වහල්ලු වන්නහු ය. ඒ කාලය පැමිණි විට ඔබ ම තෝරාගත් ඔබේ රජු ගැන ඔබ දැඩි ලෙස පැමිණිලි කරනු ඇත. එහෙත්, සමිඳාණන් වහන්සේ ඒ දවසේ දී ඔබට උත්තර නොදෙන සේක.”