1 සාමුවෙල් 17:42-51

1 සාමුවෙල් 17:42-51 NRSV

පිලිස්තියයා දාවිත් දුටු විට ඔහුට ගැරහුම් කෙළේ ය. මන්ද, ඔහු රතු පැහැයක් ද කඩවසම් පෙනුමක් ද ඇති තරුණයෙකු වූ බැවිනි. පිලිස්තියයා දාවිත්ට කතා කොට, “තෝ සැරයටිය රැගෙන මා ළඟට එන්නේ මා බල්ලෙකැ යි සිතා ද” කියා, තමාගේ දෙවියන්ගේ නාමයෙන් දාවිත්ට දෙස් කීවේ ය. ඔහු තවදුරටත් කතා කරමින්, “මා ළඟට වර, මම තාගේ මස් ආකාශයේ පක්ෂීන්ටත්, වනයේ මෘගයන්ටත් දෙන්නෙමි”යි දාවිත්ට කීවේ ය. එවිට දාවිත් පිළිතුරු දෙමින්, “තෝ කඩුවක් ද හෙල්ලයක් ද කුන්තයක් ද රැගෙන මා ළඟට එන්නෙහි ය. මම වනාහි තා නින්දා කළ ඉශ්රායෙල් හමුදාවල සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් තා ළඟට එමි. අද දින සමිඳාණන් වහන්සේ තා මා අතට පාවා දෙන සේක; මම තට ගසා, තාගේ හිස කපා දමා, පිලිස්තිවරුන්ගේ මළකඳන් අද දවසේ ආකාශයේ පක්ෂීන්ට ද පොළොවේ වන මෘගයන්ට ද දෙන්නෙමි. මෙසේ ඉශ්රායෙල් කෙරෙහි දෙවි කෙනෙකුන් සිටින බව පොළොවේ සියල්ලන් ම දැනගනු ඇත. ජය ගැනීමට සමිඳාණන් වහන්සේට කඩුවක් වත්, හෙල්ලයක් වත් වුවමනා නැති බව මුළු සමූහයා දැනගනු ඇත. සටන සමිඳාණන් වහන්සේගේ ය; උන් වහන්සේ ද ඔබ අප අතට පාවා දෙන සේකැ”යි පිලිස්තියයාට කී ය. පිලිස්තියයා යළිත් දාවිත්ට විරුද්ධ ව ගමන් කෙළේ ය. දාවිත් විගසින් පිලිස්තියයාට විරුද්ධ ව සේනාව දෙසට දුව ගොස්, මල්ලේ අත දමා එයින් ගලක් ගෙන, එය ගල් පටියෙන් විද්දේ ය. ඒ ගල පිලිස්තියයාගේ නළලට වැදී නළල ඇතුළට කා වැදුණේ ය. පිලිස්තියයා මුණින්තළා බිමට වැටිණි. මෙසේ දාවිත් කඩුවක් නැති ව ගල් පටියෙන් ද ගලෙන් ද පිලිස්තියයාගෙන් ජයගෙන, ඔහුට පහර දී, ඔහු මැරුවේ ය. එවිට දාවිත් දුව ගොස් පිලිස්තියයා ළඟ සිට ඔහුගේ කඩුව කොපුවෙන් ඇද, එයින් ඔහුගේ හිස ගසා දමා ඔහු මැරුවේ ය. පිලිස්තිවරු තමන්ගේ යෝධයා මළ බව දැක පලා ගියෝ ය.