1 සාමුවෙල් 16:1-7

1 සාමුවෙල් 16:1-7 NRSV

සමිඳාණන් වහන්සේ සාමුවෙල්ට කතා කොට, “නුඹ කොපමණ කල් සාවුල් ගැන ශෝක වන්නෙහි ද, මම ඔහු ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජකම් කිරීමෙන් පහ කෙළෙමි. දැන් නුඹ තෙල් කුලාව පුරවාගෙන බෙත්ලෙහෙමෙහි සිටින ජෙස්සේ නම් තැනැත්තා වෙත යන්න. මන්ද, ඔහුගේ පුත්‍රයන් අතරෙන් රජෙකු මම තෝරාගත්තෙමි”යි වදාළ සේක. සාමුවෙල් පිළිතුරු දෙමින්, “මා එසේ කරන්නේ කොහොම ද? එය සාවුල්ට සැළ වුණොත් ඔහු මා මරනු ඇතැ”යි කී ය. සමිඳාණන් වහන්සේ ද පිළිතුරු දෙමින්, “නුඹ වැස්සියක ගෙන ‘සමිඳාණන් වහන්සේට පූජා කරන පිණිස ආවෙමි’යි කියන්න. ජෙස්සේ ද ඒ පූජාවට කැඳවන්න. එවිට නුඹ විසින් කරනු ලැබිය යුතු දේ මම නුඹට පෙන්වන්නෙමි. මා නුඹට කියන තැනැත්තා රජු වශයෙන් නුඹ අභිෂේක කළ යුතු ය”යි වදාළ සේක. සාමුවෙල් සමිඳාණන් වහන්සේ වදාළ දේ කරමින්, බෙත්ලෙහෙමට පැමිණියේ ය. එවිට නගරයේ ප්‍රජා මූලිකයෝ වෙවුලමින් ඔහු හමු වන්නට අවුත්, “ඔබ එන්නේ සාමදානයෙන් දැ”යි ඇසූ හ. සාමුවෙල් පිළිතුරු දෙමින්, “සාමදානයෙන් ය; සමිඳාණන් වහන්සේට පූජා කරන්නට ආවෙමි; ඔබ හැම පවිත්‍ර වී මා සමඟ පූජාවට එන්නැ”යි කීවේ ය. සාමුවෙල්, ජෙස්සේ ද ඔහුගේ පුත්‍රයන් ද පවිත්‍ර කොට පූජාවට කැඳෙව්වේ ය. ඔවුන් පැමිණි කල සාමුවෙල් එලියාබ් දෙස බලා, “සැබැවින් ම සමිඳාණන් වහන්සේගේ අභිෂේක ලත් තැනැත්තේ උන් වහන්සේ ඉදිරියෙහි සිටී”යි තමන්ට ම කියාගත්තේ ය. එහෙත්, සමිඳාණන් වහන්සේ සාමුවෙල්ට කතා කොට, “ඔහුගේ පෙනීම දෙස වත්, ශරීරයේ උස මහත දෙස වත් නොබලන්න; මන්ද, මම ඔහු ප්‍රතික්ෂේප කෙළෙමි. සමිඳාණන් වහන්සේ මිනිසා බලන්නාක් මෙන් නොබලන සේක. මිනිසා බලන්නේ බාහිර පෙනීම දෙස ය. එහෙත්, සමිඳාණන් වහන්සේ බලන්නේ සිත දෙස ය”යි වදාළ සේක.

1 සාමුවෙල් 16:1-7 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය