1 සාමුවෙල් 10:1-9
1 සාමුවෙල් 10:1-9 NRSV
එවිට සාමුවෙල් තෙල් කුලාව රැගෙන සාවුල්ගේ හිසේ වත් කොට, ඔහු සිඹ මෙසේ කීවේ ය: “සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් සෙනඟ කෙරෙහි අධිපතියා කොට ඔබ අභිෂේක කරන සේක. ඔබ සෙනඟ පාලනය කොට ඔවුන් සියලු සතුරන්ගෙන් ගළවාගන්නෙහි ය. සමිඳාණන් වහන්සේ තමන් තෝරා ගත් සෙනඟගේ අධිපතියා වශයෙන් ඔබ පත් කළ බවට සාක්ෂිය මෙය වන්නේ ය: ඔබ අද මා ළඟින් පිටත් ව යන විට, බෙන්ජමින්ගේ දේශ සීමාවේ ශෙල්ශාහි තිබෙන රාකෙල්ගේ සොහොන් පළ ළඟ දී මිනිසුන් දෙදෙනෙක් ඔබට සම්බවන්නෝ ය. ඔවුන් ඔබට කතා කොට, ඔබ සොයන්නට ගිය කොටළුවන් සම්බ වූ බවත්, ඔබේ පියා කොටළුවන් ගැන නොව ඔබ ගැන කරදර වන බවත්, ‘මාගේ පුත්‍රයා ගැන මම කුමක් කරම් දැ’යි කිය කියා සිටින බවත් ඔබට කියනු ඇත. එවිට ඔබ එතැනින් තව දුර ගොස් තාබොර්හි ආලෝන ගස ළඟට පැමිණෙන්නෙහි ය. එතැන දී දෙවියන් වහන්සේට පූජා කරන පිණිස බෙතෙල්ට යන මිනිසුන් තිදෙනෙක් ඔබට සම්බවන්නෝ ය. ඔවුන්ගෙන් එක් කෙනෙක් එළුපැටියන් තුන් දෙනෙකු ද එක් කෙනෙක් රොටි තුනක් ද එක් කෙනෙක් මුද්‍රිකපාන භාජනයක් ද රැගෙන යන්නෝ ය. ඔවුන් ඔබට ආචාර කොට රොටි දෙකක් ඔබට දෙනවා ඇත. ඒවා ඔවුන් අතින් පිළිගන්න. ඉන්පසු ඔබ පිලිස්තිවරුන්ගේ මුර හමුදාව සිටින ගිබියාහි ඇති දෙවියන් වහන්සේගේ කන්දට පැමිණෙන්නෙහි ය. ඔබ එහි නුවරට ඇතුළු වන විට දිවැසිවරු කණ්ඩායමක් තමන්ට පෙරටුව වීණාවක් ද රබානක් ද නළාවක් ද කුඩා වීණාවක් ද ඇති ව ධර්ම වාක්‍ය පවසමින්, නටමින් ද ඝෝෂා කරමින් ද ගිරිකුළුවලින් බැස එනු ඔබට සම්බවන්නේ ය. එවිට සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය ඔබ කෙරෙහි බලවත් ලෙස ආරුඪ වනු ඇත. ඔබ ද ඔවුන් සමඟ ධර්ම වාක්‍ය පවසන්නෙහි ය. ඔබ අමුතු ම මිනිසෙක් වන්නෙහි ය. මේ ලකුණු ඔබට පැමිණි කල ප්‍රස්තාවෝචිත ව ක්‍රියා කරන්න. මන්ද, දෙවියන් වහන්සේ ඔබ සමඟ සිටින සේක. ඔබ මට පෙරටුව ගිල්ගාල්ට යන්න. මම දවන යාග පූජා ඔප්පු කරන පිණිසත්, ශාන්ති පූජාවල යාගයන් පූජා කරන පිණිසත් ඔබ ළඟට එන්නෙමි. මා ඔබ ළඟට අවුත්, ඔබ කළ යුතු දේ ඔබට දන්වන තුරු සත් දවසක් බලා සිටින්න.” මෙසේ කී පසු සාවුල්, සාමුවෙල් වෙතින් යන්නට හැරුණ විට දෙවියන් වහන්සේ ඔහුට අමුතු සිතක් දුන් සේක. සාමුවෙල් කී සියලු දේ ඒ දවසේ දී ම සිදු විය.

