1 පේදුරු 4:3-11

1 පේදුරු 4:3-11 NRSV

මන්ද, විජාතීන් කැමැති දේ කිරීමට පසුගිය කාලයේ දී ඔබටත් ඇති තරම් කල් වේලා තිබිණි. ඒ කාලයේ දී ඔබ අනාචාරකමින් ද සල්ලාලකමින් ද බීමත්කමින් ද අශෝභන උත්සවවලින් ද මධුපානෝත්සවවලින් ද පිළිකුල් රූප ඇදහිල්ලෙන් ද ජීවිතය ගත කළහු ය. විජාතීන් සමඟ ඔබ අධික අවකල් ක්‍රියාවල නොයෙදෙන බැවින් ඔව්හු ඒ ගැන පුදුම වී ඔබට අපහාස කරති. ජීවතුන් හා මළවුන් විනිශ්චය කරන්නට සිටින තැනැන් වහන්සේට ඔවුන් වග උත්තර දිය යුතු ව ඇත. මක්නිසා ද මළවුන්ට පවා ශුභාරංචිය දේශනා කරනු ලැබී ය. මන්ද, සියලු මනුෂ්‍යයන් විනිශ්චය කරන ආකාරයට මාංසයෙන් විනිශ්චය කරනු ලබන නමුත්, ආත්මයෙන් දෙවියන් වහන්සේ මෙන් ජීවත් වන පිණිස ය. සියලු දේවල අවසානය ළං වී ඇත. එබැවින් ඔබ සිහි කල්පනාවෙන් යුතු ව යාච්ඤාව සඳහා අවදිව සිටින්න. ප්‍රේමය පව් රාශියක් කමා කිරීමට හේතු වන බැවින්, සියලු දේට වඩා එකිනෙකා කෙරෙහි ඉමහත් ප්‍රේමයක් ඇති ව සිටින්න. මැසිවිලි නොකියා එකිනෙකාට ආගන්තුක සත්කාර කරන්න. දෙවියන් වහන්සේගේ විවිධාකාර වරප්‍රසාදවල විශ්වාසී ගබඩාකාරයන් මෙන්, එකිනෙකා ලබා ඇති කුශලතා එකිනෙකාට සේවය කරන පිණිස යොදන්න. යමෙක් දේශනා කරන්නේ නම් දේව වචනය දේශනා කෙරේ වා! යමෙක් සේවය කරන්නේ නම්, දෙවියන් වහන්සේ ප්‍රදානය කරන ශක්තිය අනුව ඔහු සේවය කරා වා! ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේට සියලු කාරණාවල දී ගෞරව පැමිණෙන පිණිස එසේ කළ යුතු ය. මහිමයත්, පරාක්‍රමයත් සදහට ම උන් වහන්සේගේ ය. ආමෙන්.