1 රාජාවලියේ 9:3-9
1 රාජාවලියේ 9:3-9 NRSV
උන් වහන්සේ ඔහුට කතා කොට මෙසේ වදාළ සේක: “නුඹ මා ඉදිරියෙහි ඔප්පු කළ නුඹේ යාච්ඤාවත්, කන්නලව්වත් මම ඇසුවෙමි. නුඹ ගොඩනැඟුවාවූ මේ මාලිගාවෙහි මාගේ නාමය සදහට ම පවතින පිණිස එය විශුද්ධ කෙළෙමි. මාගේ නෙත ද සිත ද නිරන්තරයෙන් මෙයට යොමු වී තිබෙන්‍නේ ය. ඉතින්, නුඹේ පිය වූ දාවිත් හැසුරුණ පරිදි නුඹ මා ඉදිරියෙහි සෘජු සිතක් ඇති ව ද අවංක ව ද හැසිරෙමින්, මා නුඹට අණ කළ සියල්ල ප්‍රකාරයට ඉටු කර, මාගේ පණත් ද විනිශ්චයයන් ද පිළිපදින්නෙහි නම්, ඉශ්රායෙල් සිංහාසනයෙහි හිඳින්නට නුඹට කෙනෙක් නැති ව යන්නේ නැත කියා මා නුඹේ පිය දාවිත්ට පොරොන්දු වූ හැටියට, ඉශ්රායෙල්වරුන් කෙරෙහි නුඹේ රාජ්‍යයේ සිංහාසනය සදහට ම ස්ථීර කරන්නෙමි. එහෙත්, නුඹලා ද නුඹලාගේ දරුවන් ද මා වෙතින් ඉවත් ව ගොස්, මා විසින් නුඹලා ඉදිරියෙහි තබන ලද මාගේ ආඥා හා පණත් නොපවත්වා අන් දෙවිවරුන් වෙත ගොස්, ඔවුන්ට වැඳුම්පිදුම් කර නමස්කාර කළොත්, මම ඉශ්රායෙල්වරුන්ට දුන් දේශයෙන් ඔවුන් නෙරපාදමන්නෙමි. මාගේ නාමය සඳහා මා විශුද්ධ කළ මේ මාලිගාවත් මාගේ ඇස් හමුයෙන් පහකර දමන්නෙමි. ඉශ්රායෙල්වරුන් ද සියලු ජාතීන් අතර සමච්චලයක් හා උපහාසයක් වනු ඇත. මේ මාලිගාවේ නටබුන් ගොඩ ළඟින් යන සියල්ලන් විස්මයට පත් ව, කවටකම් කර, ‘සමිදාණන් වහන්සේ මේ දේශයටත්, මේ මාලිගාවටත් මෙසේ කෙළේ මන්දැ’යි අසනු ඇත. එවිට මිනිස්සු උත්තර දෙමින්, ‘ඔවුන් තමන්ගේ පියවරුන් මිසර දේශයෙන් ගෙනා තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අත්හැර, අන් දෙවිවරුන්ට ඇලුම් ව, ඔවුන්ට නමස්කාර කොට, වැඳුම්පිදුම් කළ නිසා සමිඳාණන් වහන්සේ මේ සියලු විපත් ඔවුන් පිට පැමිණෙවු සේකැ’යි කියන්නෝ ය.”

