1 රාජාවලියේ 19:9-14

1 රාජාවලියේ 19:9-14 NRSV

පසු ව ඔහු එහි ගුහාවකට ඇතුළු වී නවාතැන් ගත්තේ ය. සමිඳාණන් වහන්සේගේ පණිවුඩය ද ඔහු වෙත පැමිණියේ ය. උන් වහන්සේ ඔහුට කතා කොට, “එලියා, නුඹ මෙහි කුමක් කරන්නෙහි දැ”යි ඔහුගෙන් ඇසූ සේක. ඔහු පිළිතුරු දෙමින්, “මම සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේ උදෙසා බොහෝ‍ උද්‍යෝගයෙන් සේවය කෙළෙමි. කුමක්හෙයින් ද, ඉශ්රායෙල් ජනයා ඔබේ ගිවිසුම අත්හැර, ඔබේ පූජාසන කඩාදමා, ඔබේ දිවැසිවරුන් ද කඩුවෙන් මැරුවෝ‍ ය. ඉතුරු ව සිටින්නේ මම පමණක් ය. ඔව්හු මාගේ ප්‍රාණයත් නැති කරන්න සොයති”යි කී ය. උන් වහන්සේ කතා කොට, “පිටතට අවුත් කන්ද උඩ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සිටින්නැ”යි වදාළ සේක. එවිට සමිඳාණන් වහන්සේ ඒ ළඟින් ගිය සේක. උන් වහන්සේට පෙරටුවෙන් මහා බලවත් හුළඟක් කඳු දෙදරවා, පර්වත බිඳගෙන ගියේ ය. එහෙත්, සමිඳාණන් වහන්සේ සුළඟෙහි නොවූ සේක. සුළඟට පසු පොළෝ කම්පාවක් විය. එහෙත්, සමිඳාණන් වහන්සේ පොළෝ කම්පාවෙහි නොවූ සේක. පොළෝ කම්පාවට පසු ගින්නක් විය. එහෙත්, සමිඳාණන් වහන්සේ ගින්නෙහි නොවූ සේක. ගින්නට පසු මඳ පවනක හඬක් විය. එලියා ඒ අසා තමාගේ මුහුණ සළුවෙන් වසාගෙන පිටතට ගොස් ගුහාවේ දොරකඩ සිටියේ ය. එවිට හඬක් ඔහු වෙත පැමිණ, “එලියා නුඹ මෙහි කුමක් කරන්නෙහි දැ”යි ඇසී ය. ඔහු ද, “මම සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේ උදෙසා බොහෝ‍ උද්‍යෝගයෙන් සේවය කෙළෙමි. මන්ද, ඉශ්රායෙල් ජනයා ඔබේ ගිවිසුම අත්හැර, ඔබේ පූජාසන කඩාදමා, ඔබේ දිවැසිවරුන් කඩුවෙන් මැරුවෝ‍ ය. ඉතුරු ව සිටින්නේ මම පමණකි. ඔව්හු මාගේ ප්‍රාණයත් නැති කරන්නට සොයති”යි කීවේ ය.