1 රාජාවලියේ 19:11-18

1 රාජාවලියේ 19:11-18 NRSV

උන් වහන්සේ කතා කොට, “පිටතට අවුත් කන්ද උඩ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සිටින්නැ”යි වදාළ සේක. එවිට සමිඳාණන් වහන්සේ ඒ ළඟින් ගිය සේක. උන් වහන්සේට පෙරටුවෙන් මහා බලවත් හුළඟක් කඳු දෙදරවා, පර්වත බිඳගෙන ගියේ ය. එහෙත්, සමිඳාණන් වහන්සේ සුළඟෙහි නොවූ සේක. සුළඟට පසු පොළෝ කම්පාවක් විය. එහෙත්, සමිඳාණන් වහන්සේ පොළෝ කම්පාවෙහි නොවූ සේක. පොළෝ කම්පාවට පසු ගින්නක් විය. එහෙත්, සමිඳාණන් වහන්සේ ගින්නෙහි නොවූ සේක. ගින්නට පසු මඳ පවනක හඬක් විය. එලියා ඒ අසා තමාගේ මුහුණ සළුවෙන් වසාගෙන පිටතට ගොස් ගුහාවේ දොරකඩ සිටියේ ය. එවිට හඬක් ඔහු වෙත පැමිණ, “එලියා නුඹ මෙහි කුමක් කරන්නෙහි දැ”යි ඇසී ය. ඔහු ද, “මම සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේ උදෙසා බොහෝ‍ උද්‍යෝගයෙන් සේවය කෙළෙමි. මන්ද, ඉශ්රායෙල් ජනයා ඔබේ ගිවිසුම අත්හැර, ඔබේ පූජාසන කඩාදමා, ඔබේ දිවැසිවරුන් කඩුවෙන් මැරුවෝ‍ ය. ඉතුරු ව සිටින්නේ මම පමණකි. ඔව්හු මාගේ ප්‍රාණයත් නැති කරන්නට සොයති”යි කීවේ ය. සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, “යන්න, දමස්කයේ පාළුකර මාර්ගයෙන් ම ආපසු යන්න. ගොස් හසායෙල් සිරියාවේ රජකමට ආලේප කරන්න. නිම්ෂිගේ පුත් ජේහු ඉශ්රායෙල්වරුන්ගේ රජු වශයෙන් ආලේප කරන්න. ආබෙල් මෙහොලාහී ෂාපාත්ගේ පුත් එලිෂා නුඹ වෙනුවට දිවැසිවරයෙකු ලෙස ආලේප කරන්න. හසායෙල්ගේ කඩුවෙන් ගැළවෙන අය ජේහු විසින් මරනු ලබත්. ජේහුගේ කඩුවෙන් ගැළවෙන අය එලිෂා විසින් මරනු ලබත්. එසේ වුවත්, බාල් දේවතාවාට නොනැමූ දණ ඇති, ඔහු සිප නොගත් මුඛ ඇති සත්දහස්දෙනෙකු ඉශ්රායෙල්වරුන් අතරෙහි ඉතුරු කරගන්නෙමි”යි වදාළ සේක.